Followers

බැද්දේගම: වනගත ගමක වැසියන්ගේ ජීවන වෘත්තාන්තය

 

ලක්දිව වැසියන්ගේ ජීවිතය හා වනගත පරිසරය ඇසුරින් ඉංග්‍රීසියෙන් ලියන ලද ප්‍රබන්ධ කීපයක් වේ. සමනොළ අඩවිය පසුබිම් කොට ගෙන ජෝන් ස්ටිල් විසින් ලියන ලද ‘ජන්ගල් ටයිඩ්’  (වන ප්‍රවාහය) නම් ග්‍රන්ථයත්,  විසිවන සියවසේ මුල් අවදියේ  ලංකාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත සිවිල් නිලධාරියකු  වූ  ලෙනාඩ් වුල්ෆ් විසින් රචිත ‘ද විලේජ් ඉන් ද ජංගල්  (බැද්දේගම) නම් නවකථාවත් ඉංග්‍රීසි පාඨකයන් අතර ජනප්‍රිය විය. මේ පොත් දෙක අතුරින් 1913 දී පළ වූ ‘ද විලේජ් ඉන් ද ජංගල්’ කෘතිය දක්ෂිණ ශ්‍රී ලංකාවේ ඈත වනගත ගමක වැසියන්ගේ දරිද්‍ර ජීවිතය තාත්ත්විකව පිළිබිඹු කෙරෙන ශ්‍රේෂ්ඨ කෘතියක් ලෙස විචාරකයන්ගේ අවධානයට ලක් වී ඇත.


‘බැද්දේගම’  යනු The Village in the Jungle ( වනයේ ගම) යන ඉංග්‍රීසි නාමයේ සිංහල පරිවර්තනය යි. මේ ඉංග්‍රීසි පොතේ කතුවරයා වූයේ ශ්‍රී ලංකාවේ  සේවය කළ ඉංග්‍රීසි ජාතික සිවිල් නිලධාරියකු වූ ලෙනාඩ් වුල්ෆ් (1880 -1969) ය. එංගලන්තයේ උපත ලැබූ  ඔහු  1904 දී කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලැබීමෙන් පසුව  වසර හතක් ශ්‍රී ලංකාවේ  සේවය කළේය. ලක් බිමේ සිටි එම කාලය තුළ දී  සිවිල් සේවා නිලධාරියකු ලෙස විවිධ පරිපාලන හා අධිකරණ කාරණා සම්බන්ධයෙන් කටයුතු කිරීමේ අවස්ථාව වුල්ෆ්ට ලැබිණ . එකල සිටි වෙනත් නිලධාරීන් මෙන් නොව වුල්ෆ්  සිංහල හා දෙමළ භාෂාව ඉගෙන ගෙන සිටි ලංකා සිවිල් සේවයේ තරුණ නිලධාරියෙක් විය. ආධුනික නිලධාරියකු ලෙස කලක් යාපනයේ ද  ඉන්පසුව මහනුවර ද සේවය කළ ඔහු 1908 – 1911 යන තෙවසර ගත කෙළේ හම්බන්තොට උප දිසාපතිවරයා  ( Assistant Government Agent) ලෙස ය.   සාර්ථක අධිරාජ්‍යවාදියකු ලෙස සේවය කොට  යටත් විජිත ලේකම්වරයකු හෝ ආණ්ඩුකාරවරයකු හෝ වීමට  වුල්ෆ්ට හැකියාව තිබුණ ද ඔහු තෝරා ගත්තේ වෙනස් මගකි. ඔහු  ‘ද විලේජ් ඉන් ද ජංගල්’ පොත ලිවිම ආරම්භ කොට ඇත්තේ 1911 දී නිවාඩුවක් ගත කරනු සඳහා  එංගලන්තයට  පැමිණීමෙන් පසුව ය. තරුණ වියේ සිටි වුල්ෆ්ගේ සිත තුළ තම පෙම්වතිය වූ වර්ජිනියා කෙරෙහි ආලයක් මෝරමින් තිබුණේ ද මේ කාලයේ දී බව ඔහුගේ චරිතාපදානයෙන් හෙළි   වේ. 1911 වසර අවසානයේ ඔහු පහත සඳහන් නිගමන දෙකට එළඹ ඇත.

1.     වර්ජිනියා මා සමග විවාහ වීමට කැමති වන්නි නම් ලංකාවෙන් සදාට ම සමුගෙන ලේඛන කලාවෙන් ජීවිකා වෘත්තිය සලසා ගන්නෙමි.

2.     වර්ජිනියා මගේ අත ගැනීමට අකමැති වන්නේ නම් ආපසු ලංකාවට ගොස් හම්බන්තොට වැනි දිස්ත්‍රික්කයක පැළපදියම් වී සිංහල කාන්තාවක විවාහ කර ගෙන මගේ දිස්ත්‍රික්කය හෝ පළාත ආසියාකරයේ ඉතා ම කාර්යක්ෂම බෙහෙවින් ම සමෘද්ධිමත් ප්‍රදේශය බවට පත් කර ගැනීමට මගේ සිත පෙළඹෙනු ඇත ( ලක් බිමේ සත් වසක්, 281 පිටුව).

 1912 දී වර්ජිනියා ස්ටීවන් සමඟ විවාහ වූ ලෙනාඩ් වුල්ෆ් තම පළමු නවකතාව වන ‘ද විලේජ් ඉන් ද ජංගල්’ 1913 දී ලියා පළ කර  ඒ පොත  පිළිගැන්වූයේ  තම භාර්යාව වූ වර්ජිනියාට ය.   පසු කලෙක වර්ජිනියා වුල්ෆ් ද ඉංග්‍රීසි සාහිත්‍ය ලෝලීන් අතර මහත් කීර්තියක් ලැබූ ජනප්‍රිය ලේඛිකාවක් වූවා ය.  පෞද්ගලික හේතු මත ලංකා සිවිල් සේවයෙන් ඉල්ලා අස් වූ  වුල්ෆ් තම පසුකාලින ජීවිතය ගත කෙළේ ලේඛකයෙකු,  ප්‍රකාශකයෙකු සහ සංස්කාරකයෙකු ලෙස ය. 1960 දී එනම් වයස අවුරුදු 80 දී වුල්ෆ් ශ්‍රී ලංකාවට නැවත පැමිණි අතර එම අවස්ථාවේ දී තමා තෙවසරක් ගත කළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ හැඟීම්බර සංචාරයක් කළේය. ඔහු 1969 දී එංගලන්තයේ දී මිය ගියේය. ඒ අනුව වුල්ෆ්ගේ අභාවය සිදු වී අඩසියවසක් ගෙවී ගොස් ඇත.

ශ්‍රී ලංකාවේ ඉතිහාසය හා ජන ජීවිතය අරබයා  බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් ලියන ලද ග්‍රන්ථ අතුරින් වඩාත් ම ප්‍රකට කෘතිය ලෙස සැලකිය හැක්කේ ‘බැද්දේගම’ නමින් සිංහල පාඨකයන් අතර ජනප්‍රිය වූ ලෙනාඩ් වුල්ෆ්ගේ  ‘ද විලේජ් ඉන් ද ජංගල්’ නවකථාව යි. ලංකාවේ බ්‍රිතාන්‍ය පාලනය පැවති සමයේ සේවය කළ සිවිල් සේවකයෝ ආණ්ඩුකාරවරයාට වගකිවූ  ලංකාවේ පාලනය පිළිබඳ රජයේ නියෝජිතයෝ  වූහ. විධායක කාර්යයන් පමණක් නොව  අධිකරණයේ ද ඔවුන්ට වැදගත් වැඩ කොටසක් තිබුණි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්  බුද්ධිමත් හා දක්ෂ නිලධාරීහු වූහ. ඔව්හු  කිසිදු කුලයකට හෝ ප්‍රජාවකට අනුග්‍රහය නොදැක්වූ අතර තම  බලතල අනිසි ලෙස භාවිත නොකළහ; රාජකාරිය ඉටු කරනු පිණිස කාල වේලා නොබලා වැඩ කළහ. ලෙනාඩ් වුල්ෆ් ඊට හොඳ ම නිදසුනකි. ලෙනාඩ් වුල්ෆ් තමාට ලැබුණු විවේකයේ දී ගම්බිම්වල ඇවිද   ජනතාව සමඟ සම්බන්ධතා පැවැත්වූ නිලධාරියෙක් විය. ඔහු සොබාදහමටත්, වනයටත්, වන සතුන්ටත් දැඩි ලෙස ආදරය කෙළේය. ඔහු රජයේ වඩාත්ම බලගතු තනතුරක් දැරූ නමුදු තම ගම් වැසියන්ගේ ජිවන තත්ත්වය, ඔවුන්ගේ දුක් දොම්නස්  පිළිබඳ මනා වැටහීමක් ලබා ගෙන සිටි පුද්ගලයකු වූ බව පැහැදිලි ය. මේ  නවකතාව සමඟ ලෙනාඩ් වුල්ෆ්ගේ ස්වයංචරිතාපදානය කියවීමෙන් මේ රටේ ජනතාව කෙරේ ඔහු දැක්වූ ආකල්පය හා දෘෂ්ටිය පැහැදිලි කර ගත හැකි ය. ඔහු  එම පොතේ මෙසේ සදහන් කරයි.

වැඩ කිරීමට මා තුළ  වූ සීමාන්තික ආසාව උත්තේජනය කළ ප්‍රධාන සාධක දෙකක් විය. ඒ දෙක ම ප්‍රබල අන්දමින් වර්ධනය වූයේ හම්බන්තොට දිස්ත්‍රික්කය මට පැවරුණායි න්  අනතුරුව ය. මා ඉපදී හැදුණු වැඩුණු ලන්ඩනයේ දීත් කේම්බ්‍රිජ් ශාස්ත්‍ර පීඨ යේ දීත් මා ඇසුරෙහි තිබුණු හැම දේට ම වඩා වෙනස් වූ මේ රටටත් ( ලංකාව) ජනතාවටත් ජිවන රටාවටත් මම ආදරය කරන්නට පටන් ගත්තෙමි. බටහිර ගිරුවා පත්තුවේ ගම්වලත් මාගම්පත්තුවේ කැලෑ බද පෙදෙස් වලත් ජනතාව හා ඔවුන් ජිවත් වූ ආකාරය ද අවබෝධ කර ගැනීම මගේ ජිවිතයේ මෝස්තරයක් බවට පත් වූ යේ ය.  

දිස්ත්‍රික්කයේ ජනතාවත් ඔවුන් සමෘද්ධිමත් කිරීමත් ඔවුන්ගේ දිළිඳුකම හා ලෙඩ රෝග තුරන් කිරීමත්, වාරිමාර්ග හා පාසල් ආරම්භ කිරීමත් ගැන විනා අන් දෙයක් ගැන මගේ සිත මෙහෙයවුණේ ඉතාම කලාතුරකිනි ... වැඩ කිරීමේ උන්මාදය මා තුළ  ජනිත කළ දෙවැනි ආවේගය වූ යේ කාර්යක්ෂමතාව පිළිබඳ  දැඩි ආශාව ය. ( ලක් බිමේ සත් වසක්, 202-203 පිටු)

 

‘බැද්දේගම’ හෙවත් ‘ද විලේජ් ඉන් ද ජංගල්’ කෘතිය සම්භාවනාවට ලක් වී ඇත්තේ යටත්විජිත දෘෂ්ටිකෝණයට වඩා ස්වදේශිකයන්ගේ පක්ෂයෙන්  ලියා ඇති  බටහිර ලේඛකයකුගේ ප්‍රබන්ධයක් ලෙස ය. වෙනත් ලෙසකින් කිවහොත්, මේ නවකතාව යටත් විජිත ක්‍රමය පිළිබඳව ලෙනාඩ් වුල්ෆ් තුළ පැවති අතෘප්තිය මනාව පිළිබිඹු කරන අතර ලක්දිව ග්‍රාමීය ජනතාවගේ අවශ්‍යතා සහ මනෝභාවයන් ග්‍රහණය කර ගැනීමට පොහොසත් වේ.  වුල්ෆ් රට තුළ රැඳී සිටි කාලයේ දී  බටහිර අධිරාජ්‍යවාදයේ දේශීය නියෝජිතයන් ලෙස පෙනි සිටි ගම් දෙටුවන්ගේ  නිර්දය ලෙස සූරාකෑමට ලක් වූ ග්‍රාමීය ජනතාවගේ දුක්බර දිවි පෙවෙත සමඟ  සම්බන්ධ විය. දුක් විඳින ජනතාවට සාධාරණය ඉටු කිරීමට  අධිරාජ්‍යවාදීන්ගේ පාලනයට පවත්නා ඇති නොහැකියාවට එරෙහිව ප්‍රබල විවේචනයක්  වුල්ෆ්ගේ නවකථාවෙන්  ඉදිරිපත් කෙරෙයි. මේ අනුව ‘විලේජ් ඉන් ද ජංගල්’  විශිෂ්ට කෘතියක් වන්නේ එය ඉංග්‍රීසින්ගේ  යටත්විජිතවාදයට  වඩා දේශීය දෘෂ්ටිකෝණයෙන් ඉංග්‍රීසි රචකයකු ලියා ඇති පළමු නවකතාව වන බැවිනි.

යටත්විජිත පරිපාලකයෙකු ලෙස ලංකාවේ වසර හතක් සේවය කිරීමෙන් ලැබූ අත්දැකීම් නිසා වුල්ෆ්ට යටත්විජිත පාලනයේ අයුක්තිය පිළිබඳ  ඉතා හොඳ දැනුමක් තිබිණ. යටත් විජිත නිලධාරියකු ලෙස කෘෂි කර්මාන්තය, යුක්තිය, මහජන සෞඛ්‍යය, මාර්ග ඉදිකිරීම, බදුකරණය සහ සෑම ආකාරයකම සුළු ගැටලු  සම්බන්ධයෙන් කටයුතු කරමින් ඔහු සිය දිස්ත්‍රික්කය පුරා සංචාරය කළේය. ප්‍රදේශයේ ජනතාව සහ ඔවුන් ගත කළ දුෂ්කර ජීවිතය  ඔහු දැන හඳුනා ගත්තේය. ඔහු සිය දෛනික ක්‍රියාකාරකම් පිළිබඳව ලියා තැබීම සඳහා සවිස්තරාත්මක දිනපොතක් ද තබා ගත් අතර තබා ඇති අතර එහි තොරතුරු ‘ ද විලේජ් ඉන් ද ජංගල්’  ලිවීමට ද එය බොහෝ ලෙසින් යොදා ගත්තේය.  ගම්වැසියන් සමඟ ගනුදෙනු කිරීමෙන් ලැබූ සම්බන්ධය නිසා ඔවුන් කෙරේ දැඩි අනුකම්පාවක් වුල්ෆ් තුළ  වූ බව පැහැදිලි වේ.  තම ගම්වැසියන් හා වනගත ගම සමහ පැවත්වූ සම්බන්ධතා  තම නිර්මාණාත්මක පරිකල්පනයෙන් ඔප් නංවා රචනා කළ නිර්මාණයක් ලෙස සැලකිය හැකි ‘ ද විලේජ් ඉන් ද ජංගල්’  නවකථාව, ශ්‍රී ලංකාවේ ගම්බද ජීවිතය අරබයා විදේශිකයකු විසින් ලියන වඩාත්ම ප්‍රිය කරන පොත  බවට පත් විය. මේ අනුව 1900 ගණන්වල මුල් භාගයේ ගිනිකොන දිග ලංකාවේ ගමක් පිළිබඳ සමාජ විද්‍යාත්මක හා මානව වංශ විද්‍යාත්මක  විස්තරයක් ලෙස ද මේ පොත විචාරක අවධානයට ලක් ව ඇත.

පසුගිය සියවස මුල දී දකුණු ලක ඈත වනගත ගමක වැසියන්ගේ ජිවන ප්‍රවෘත්තිය   පසුබිම් කර ගෙන ලියා ඇති ලෙනාඩ් වුල්ෆ්ගේ ‘බැද්දේගම’ නවකතාවෙන් ඉදිරිපත් වන්නේ මිනිසාගේ සහ වනාන්තරයේ ඇති නපුර පිළිබඳ සිත්ගන්නාසුලු කතාවකි.  කතාව සිදුවන්නේ දුර බැහැර කැලෑ ගම්මානයක ය. මහ වනයකින් මැදි  වූ පවුල් හත අටකින් සැදුණු ගමක දිවි පෙවෙත හෙළි කරන ලේඛකයා,   බැද්දේ  ගම තුළ ජනතාවගේ ජීවිතය හා තත්වය පමණක් නොව එහි වටපිටාවේ ද අමුතු සිදුවීම් ඉදිරිපත්  කරයි. මෙම කථාව නිසැකවම මෙම දිවයිනේ වැසියන්ට පමණක් නොව, බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවති වෙනත් ගම්වල ජීවත් වූ ජනතාවගේ තත්වය දැන ගැනීමට කැමති වෙනත් රටවල ජනතාවට ද කියවා රස විඳිය හැකි  කතාවක් ලෙස නම් කළ හැකි ය.

‘බැද්දේගම’ වැසියන් නිතරම ජිවත් වූයේ තදබල සටනක් කරමිනි. දිළිඳුකම, රෝග පීඩා, මිථ්‍යා විශ්වාස, අනුකම්පා විරහිත යටත් විජිත ක්‍රමය සහ වනාන්තරය විසින් ඉදිරිපත් කරනු ලබන  ලද අභියෝගයන්ගෙන් බේරීමට අරගල කරන බැද්දේගම  දිළිඳු පවුලක ජීවිතය  මේ නවකතාවෙන්  විස්තර වෙයි . පවුලේ ප්‍රධානියා සිලිඳු නම් ගොවියෙකි.  ගොවියකු වුවත් ඔහු  ජීවිතය ගත කෙළේ දඩයම්කරුවකු ලෙස ය. වනාන්තරයේ දී හමු වන  සතුන්ගේ ඉරියව් සිලිඳු හොඳින් දැන සිටියේය.  ඔහුට පුංචිමැණිකා  සහ හින්නිහාමි යන දියණියෝ දෙදෙනෙක් සිටිති. සිලිඳු, වන සතුන් හා තම දියණියන් දෙදෙනා සමගත් ගම්වැසියන් සමගත් පැවැත්වූ සබඳතාවල ස්වභාවය මේ නවකථාවේ විස්තර කෙරේ. ගමේ බලධාරීන් සහ ණය එකතු කරන්නෙකුගේ කටයුතුවල ප්‍රතිඵලයක් ලෙස  සිලිඳුට මිනීමැරුමකට නඩු පවරනු ලැබේ.  සිලිඳුගේ හා ඔහුගේ දියණියන් දෙදෙනාගේ ජීවිතය,  වනයේ පිහිටි ගමට මෙන්ම වන සතුන්ට  සම්බන්ධ වී ඇත. සිලිඳුගේ ජිවිතයේ ඇති පුදුම ගති පැවතුම් ද දියණියන් දෙදෙනාගේ හැසිරීම් ද සෙසු ගැමියන්ගේ සිරිත් විරිත් ආදිය ද හැඩගැසීමට ගමේ පරිසරය බල පා ඇති ආකාරය කතුවරයා ඉතා දක්ෂ ලෙස සජිවාකාරයෙන් ඉදිරිපත් කරයි. සිලිඳුගේ පවුලත් ගමත් දෙක ම ජිවත් වීම සඳහා කරන සටන ද ඒ සටනේ විවිධ අවස්ථා ද හා ලක්ෂණ ද මේ නවකථාවේ නිරූපණය වේ. විදේශිකයකු වුවද වුල්ෆ් අසරණ ගම්වැසියන් දෙස බලා ඇත්තේ සානුකම්පික හදවතකිනි. ලක්දිව පිටිසර ගැමි පරිසරය මැනවින් කථාවට පසුබිම් කර ගෙන ඇති කලාත්මක ස්වරූපය හා යොදා ගත් භාෂා ව්‍යවහාරය නිසා කථාවේ චරිත නිරූපණය සාර්ථක වී ඇත.  

ලෙනාඩ් වුල්ෆ් The Village in the Jungle නමින් පළ කළ පොත,  උසස් නවකථාවක් මෙන්ම ‘බැද්දේගම’ නමින් පළ වූ එහි සිංහල පරිවර්තනය ද සිංහල සාහිත්‍ය ලෝකයේ විශිෂ්ට කෘතියක් විය. මෙහි පරිවර්තකයා වූයේ සිංහල ශබ්දකෝෂයේ උපකර්තෘ වරයකු ලෙස  සේවය කිරීමෙන් විවිධ පතපොත කියවා  පරිචයක් ලබා සිටි ප්‍රසිද්ධ  සිංහල ලේඛකයෙකු  වූ ඒ. පී. ගුණරත්න මහතා ය. ලංකාවේ වනගත ජීවිතය හා කැලෑ ගම්වල මිනිසුන් පිළිබඳව ඉංග්‍රීසි ලේඛකයන් විසින් ලියන ලද පොත් ගණනාවක් සිංහලයට පරිවර්තනය කිරීමෙන් සිංහල පාඨකයන්ට මහත් සේවයක් සැලසූ ගුණරත්න මහතා, ‘ ද විලේජ් ඉන් ද ජංගල්’  පොත ‘බැද්දේගම’ නමින් සිංහලයට පරිවර්තනය කොට මුල් වරට පළ කෙළේ 1947 දී ය. එම අවදිය වන විටත් කලාත්මක සිංහල නවකථාව පැවතියේ ආරම්භක අවස්ථාවක ය. උසස් ඉංග්‍රීසි නවකතා කියවා ලබා ගත් රසිකත්වයක් ලබා සිටි ලෙනාඩ් වුල්ෆ් වැනි ලේඛකයකුගේ උසස් නවකථාවක් සිංහලයට පරිවර්තනය කිරීමෙන් කලාත්මක නවකථාවක ස්වරූපය සිංහල පාඨක ලෝකයාට හඳුන්වා දීම සිදු කෙළේය. ලෙනාඩ් වුල්ෆ්ගේ නවකථාව සිංහල පාඨකයන් අතර ජනප්‍රිය වීමට හේතු වූයේ ඒ පරිවර්තකයාගේ භාෂා නෛපුණ්‍යය හා භාෂා ශෛලිය පිළිබඳ දක්ෂතාව යි. මුලින් ම ඉංග්‍රීසියෙන් ලියවුණු නවකථාවේ  ස්වාභාවිකත්වයට හා කලාත්මක ස්වරූපයට  ගැළපෙන පරිදි සිංහල වාග් සම්ප්‍රදායට ද අනුකුලව යොදා ගනිමින් ගුණරත්න මහතා සිදු කර ඇති ‘බැද්දේගම’ පරිවර්තනය,  සිංහල පරිවර්තන සාහිත්‍යයේ ද සන්ධිස්ථානයක් සනිටුහන් කළ කෘතියක් විය.

ලෙනාඩ් වුල්ෆ්ගේ නවකථාව සිංහල පරිවර්තනය වීමෙන් පසු එම කෘතිය සිංහල පාඨකයන්ගේ පමණක් නොව පාඨශාලාවල සිංහල හදාරන විද්‍යාර්ථීන්ගේ ද අවධානයට ලක් වන්නට විය. දිගු කලක් පාසල්වල අතිරේක කියවීම් පොතක් වශයෙන් ද විභාග සඳහා නිර්දේශිත කෘතියක් ලෙස ද ‘ බැද්දේගම’ භාවිත විය. ඒ පිළිබඳව ලියැවුණු විචාර ලිපි හා ග්‍රන්ථ ද ගණනවක් පළ වූ අතර මේ නවකථාව පසුව සිනමාවට ද එක් විය.  නැවත වරක් උසස් පෙළ පාසල් විෂය මාලාවට එක්  වී ඇති ‘බැද්දේගම’ නවකථාව ඇසුරින් නවකථාව  යන සාහිත්‍යාංගයේ ලක්ෂණ හා ස්වභාවය අධ්‍යයනය කිරීමට  ද නවකථාවේ  චරිත හා අවස්ථා සිද්ධි නිරූපණය, භාෂා භාවිතය, සංකේත භාවිතය, නවකථාවට පසුබිම් වූ සමාජය හා නවකථාවේ කතුවරයා හා පරිවර්තකයා වැනි අංශ ගැන ද  අවධානය යොමු කිරීමට  විද්‍යාර්ථින්ට අවස්ථාව උදා කර ගත හැකි ය.

කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ

මහාචාර්ය සඳගෝමි කෝපරහේවා

Comments