Followers

නිවැරදි සිංහල වහර සඳහා අත්පොතක්

නිවැරදි සිංහලය, සුමිත ප්‍රකාශකයෝ, පිටු 642,  2018. 

මහාචාර්ය ජේ. බි. දිසානායක



මහාචාර්ය ජේ. බි. දිසානායක මහතාගේ අලුත් ම පොත ‘ නිවැරදි සිංහලය’ නමින් පළ වී ඇත. මේ පොත මා  අතට පත් වූ විට මගේ සිතට නැගුණු ප්‍රශ්න කීපයකින් මේ ග්‍රන්ථ විචාරය ආරම්භ කිරීම සුදුසු යයි සිතමි. වාග්වේදියෙකුට නිවැරදි සිංහලය අරබයා පොතක් ලිවිය හැකි ද? නිවැරදි සිංහල වහර යනු කුමක්ද ? නිවැරදි සිංහලයේ නිර්ණායක කවරේද ? මේ ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයීමට  මේ ලිපියේ දී මම බලාපොරොත්තු  නොවෙමි. එසේ වුවත් සිංහල වාග්වේදියෙකු විසින් ‘නිවැරදි වහර’ අරබයා ග්‍රන්ථයක් රචනා කරනු ලැබීම භාෂාවේදීන්ගේ අවධානයට  ලක් විය යුතු කරුණකි. මේ පොත ලියා ඇත්තේ නිවැරදි සිංහල වහර හොදින් දන්නා වියතුන් සඳහා නොව නිවැරදි වහර නොදන්නා ආධුනිකයන් සඳහා ය.  එම  ග්‍රන්ථය පිළිබඳ විචාරයකට පෙර සිංහල ව්‍යාකරණ විෂයක මහාචාර්ය ජේ. බි. දිසානායක මහතාගේ භූමිකාව පිළිබඳ පූර්විකාවක්  සැපයීම උචිත යයි සිතමි.

1969 දී ‘ භාෂාවක රටා සමුදාය’ පළ කළ  වසරේ සිට පුරා අඩසියවසක පමණ කාලයක් මුළුල්ලේ සිංහල භාෂාව, ව්‍යාකරණය හා වාග් විද්‍යාව යන අංශවල විමර්ශන සිදු කරන සිංහල වාග්වේදියකු වන මහාචාර්ය ජේ. බි. දිසානායක මහතා වඩාත් ප්‍රකටව ඇත්තේ  නූතන සිංහල ව්‍යාකරණය හෙළි පෙහෙළි කළ ව්‍යාකරණඥයෙකු ලෙස ය.  1960-70 දශකවල දී සිංහල ව්‍යාකරණය පිළිබඳ සාම්ප්‍රදායික අදහස්වලට එරෙහිව වාග්විද්‍යාත්මක මතවාද ප්‍රචලිත කිරීමට ආචාර්ය ම.ව. සුගතපාල ද සිල්වා ප්‍රයත්න දරා තිබුණ ද ඔහු ව්‍යාකරණ ග්‍රන්ථ සම්පාදනයට හෝ සිංහල ලේඛන රීතිය  පැහැදිලි කිරීමට යොමු නොවිණි. සිංහල වාග්වේදීන් අතරින් එම කාර්ය සඳහා පුරෝගාමී වූයේ ජේ. බි. දිසානායක මහතා ය.

1980 ගණන් වන තෙක් ම සිංහල ව්‍යාකරණය පිළිබඳ ග්‍රන්ථ ප්‍රධාන වශයෙන් ම සම්පාදනය වුයේ සිදත් සඟරා ආකෘතිය පදනම් කර ගෙන ය (1938 දී පළ වූ කුමාරතුංග මුනිදාස මහතාගේ ව්‍යාකරණ විවරණය හැර). ව්‍යාකරණ ග්‍රන්ථකරණය සැබෑ ලෝකයෙන් පරිබාහිර වූ කාර්යයක් ලෙසත් එය පුරාතන වූ ඡේක ව්‍යවහාරය පදනම් කරගත් කටයුත්තක් ලෙසත් සැලකිණ.

නූතන සිංහල ලේඛකයන්ගේ ව්‍යවහාරය හඳුනාගෙන අප හා සමකාලීන වූ සිංහලය සඳහා නව ව්‍යාකරණයක් සම්පාදනය කිරීම  සඳහා ඉදිරිපත් වූ ජේ. බි. දිසානායක මහතා 1990 දී නූතන සිංහල ලේඛන ව්‍යාකරණය: 1 - අක්ෂර වින්‍යාසය යන කෘතිය ලියා පළ කරමින්  ව්‍යාකරණ ග්‍රන්ථ සම්පාදනයේ වැදගත්කම පෙන්නා දුන්නේය.

භාෂාවේ සිදු වන මේ පරිණාමය යථාරූපීව හඳුනාගත හැක්කේ ව්‍යාකරණඥයාට පමණි. මේ වෙනස වෙනත් ශාස්ත්‍රඥයන්ගේ ද දැන ගැනීම පිණිස ඔහු කලින් කලට ව්‍යාකරණ ග්‍රන්ථ සම්පාදනය කරයි. නව ව්‍යාකරණ ග්‍රන්ථ සම්පාදනය කිරීම සිංහලය වැනි ජිව භාෂාවකට අතිශයින් අවශ්‍ය වේ. නූතන සිංහල ලේඛන ව්‍යවහාරය පදනම් කොට ගත් ව්‍යාකරණ ග්‍රන්ථයක අවශ්‍යතාව දැන් කලක සිට පවතින්නකි.

භාෂාවක් වෙනස් වේ යැයි කීමෙන් අදහස් වන්නේ එහි ව්‍යාකරණය ද වෙනස් වන බව පෙන්වා  දුන් දිසානායක මහතා, “ භාෂාවක ව්‍යාකරණය හෙළි පෙහෙළි කරනු පිණිස සැපයෙන ව්‍යාකරණ ග්‍රන්ථ ද කලින් කලට වෙනස් විය යුතු ය” යන අදහස ව්‍යාප්ත කළේය.

නූතන සිංහලය අරබයා නව ව්‍යාකරණයක් සම්පාදනය කිරීමේ දී ව්‍යාකරණඥයන් අතර පවත්නා මතභේද පිළිබඳව අවධානය යොමු කළ  දිසානායක මහතා,  ව්‍යාකරණඥයන් අතර භාෂා ව්‍යවහාරය සම්බන්ධයෙන් පවත්නා මතභේද සමථයකට පත් කොට ගත හැකි මාර්ගයක් ද පෙන්වා  දුන්නේය. භාෂා ව්‍යවහාරයේ මතභේද පවතින විට එක් ව්‍යවහාරයක් පමණක් ‘නිවැරදි’ යැයි සලකා ගෙන, අනෙක් ව්‍යවහාරය ‘වැරදි’ සේ බැහැර කිරීම කිරීම වෙනුවට එම ව්‍යවහාර දෙක ම නිවැරදි සේ සලකා, ඉන් එකක් එක් රීතියකට ද දෙවැන්න වෙනත් රීතියකට ද අයත් ලෙස පිළිගැනීමේ වැදගත්කම අවධාරණය කෙළේය.

මේ අනුව නූතන සිංහල ලේඛන ව්‍යවහාරයේ දැකිය හැකි ‘විකල්ප ව්‍යවහාර’ පිළිබඳව මුලින් ම අවධානය යොමු කළ වාග්වේදියා වන්නේ ජේ. බි. දිසානායක මහතා ය. විකල්ප රීති පැවතීම ජීව භාෂාවක අනිවාර්ය ලක්ෂණයක් ලෙස ඔහු සැලකීය. භාෂා ව්‍යවහාරයේ පැවති  විකල්ප රීති  සම්බන්ධයෙන් වියරණ ඇදුරන් අනුගමනය කළ දැඩි ප්‍රතිපත්ති බැහැර කරමින් බස් වහර අරබයා දිසානායක මහතා අනුගමනය කළ ‘මැඳුම් පිළිවෙත’ සිංහල ව්‍යාකරණ අධ්‍යයන කේෂත්‍රයේ සන්ධිස්ථානයක් ලෙස නම් කළ හැකි ය.

භාෂාවක යථා ස්වරූපය හඳුනා ගැනීමටත් භාෂාවක් නිවැරදිව හසුරුවන ආකාරය දැන ගැනීම සඳහාත් ව්‍යාකරණ ග්‍රන්ථ අවශ්‍ය බව පෙන්නා දුන් දිසානායක මහතා, සමකාලීන සිංහල ලේඛන ව්‍යවහාරය විමර්ශනය කරමින් 1995 දී  සමකාලීන සිංහල ලේඛන ව්‍යාකරණය 1: ව්‍යාකරණ ප්‍රවේශය නමැති ව්‍යාකරණ ග්‍රන්ථය සම්පාදනය කෙළේය. භාෂා විෂයක මතවාද හා විවේචන මධ්‍යයේ වුවද  නූතන සිංහල ලේඛන ව්‍යවහාරය සඳහා ‘නව ව්‍යාකරණයක්’ සම්පාදනය කිරීමේ ප්‍රයත්නයක යෙදුණු දිසානායක මහතා,  2000-2001 වකවානුවේ දී බසක මහිම නමින් නව ව්‍යාකරණ පොත් පෙළක් ද සම්පාදනය කෙළේය. කාණ්ඩ 11කින් යුත් එම බසක මහිම පොත් පෙළ පුළුල් විමසුමකට ලක් කිරීමෙන් නූතන සිංහලය සඳහා නව ව්‍යාකරණයක් සම්පාදනය කිරීමට අවශ්‍ය නව ප්‍රවේශයක් ලබා ගත හැකි ය. බසක මහිම පොත් පෙළ සංශෝධනයට ලක් කරමින් ඔහු පසුව පළ කළ සිංහල රීතිය ( කාණ්ඩ 9 කි) පොත් පෙළ මගින් ද සිංහල භාෂාවේ නව මුහුණුවර පෙන්නා දීමට උත්සාහ ගත්තේය.

නිවැරදි සිංහලය’ නමැති ජේ. බි. දිසානායක මහතාගේ අලුත් ම පොත ව්‍යාකරණ ග්‍රන්ථයකට වඩා නිරවද්‍ය සිංහල ලේඛන ව්‍යවහාරය පිළිබඳ අත්පොතක් ලෙස හඳුන්වා දිය හැකි ය. “ සිංහලයෙන් නිවැරදිව ලියන සැටි සැබෑ නිදසුන් මගින් ආධුනිකයන්ට හඳුන්වා දීම මේ පොතේ අරමුණ යි”  ( 5 පිටුව). මේ පොත ලිවීම සඳහා  කතුවරයාට පසුබිම් වී  ඇත්තේ 2016 වසරේ දී ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ මෙහෙයවීමෙන් කොළඹ දී පැවති ‘ භාෂා සංගායනාවේ දී ‘ බසක නිවැරදි වහර යනු කිම?’ යනුවෙන් කතුවරයා පැවැත්වූ දෙසුම යි.  එම දෙසුම් පිටපත පිටු 642කින් යුත් ‘ නිවැරදි සිංහලය’ නමින්  පොතක් ලෙස සම්පාදනය කර ඇත්තේ  කොටස් හතකින් යුක්තව ය. 1. ප්‍රවේශය 2. ජීව භාෂාවක ගමන් මඟ 3. හෙළ වහර හා ගත් වහර 4. පොදු වැරදි 5. වාක්‍ය නිර්මාණය 6. පද බෙදීම 7. සමානාර්ථ පද එම කොටස්වලට අයත් වේ.

 ‘ නිවැරදි වහර’ ගැන විමසීමේ දී අපගේ අවධානය යොමු විය යුතු කරුණු සතරක් පිළිබඳව මේ පොතේ ප්‍රවේශයේ  දැක්වේ. ඒ මෙසේ ය:

1.     ව්‍යාකරණය යනු නීති පද්ධතියක් නොව රීති පද්ධතියක් බව

2.     සිංහලය මළ බසක් නොව ජීව භාෂාවක් බව

3.     භාෂාවක රීති පද්ධතිය භාෂා ව්‍යවහාරයෙන් ම සපයා ගත යුතු බව

4.     විකල්ප රීති කීපයක් ඇතොත් ඉන් එකක් පමණක් තමාගේ භාවිතය සඳහා තෝරා ගත යුතු බව ( 10 පිටුව).

වාග්වේදීන් පෙන්වා දී ඇති ආකාරයට භාෂාවක නිරවද්‍ය ව්‍යවහාරය පිළිබඳ නිර්ණායක දෙකක් ඉදිරිපත් කළ හැකි ය.  පළමුවැන්න: භාෂාවේ සම්මත ව්‍යවහාරය යි. දෙවැන්න: ඡේකයන්ගේ හෙවත් වියතුන්ගේ වහර යි.  භාෂාවක නිරවද්‍ය ව්‍යවහාරය පිළිබඳ පුරාණතම උපදේශය අපට ලැබෙන්නේ,  අදින් සියවස් අටකට  පමණ පෙර - එනම් දහතුන් වන සියවසේ දී ලියැවුණු ‘ සිදත් සඟරාව’ නමැති ග්‍රන්ථයේ ය. ඒ පොත ආරම්භයේ දී ම කතුවරයා පවසන්නේ වියරණ විදි  උගතුන්ගේ හෙවත් ඡේකයන්ගේ ව්‍යවහාරයට අනුකූල විය යුතු බව යි. ‘ වහරනුසෙරෙන් සපයා - අනු රූ සේ පියෝනන්’ ලෙස සිදත් සඟරාවේ  දැක්වුණේ එම උපදේශය යි.  නූතන වාග්වේදීන් ද භාෂාවේ ව්‍යාකරණය රීති සපයා ගන්නේ සැබෑ ව්‍යවහාරයෙන් ලබා ගත් වාක් සංහිතාවක් අනුසාරයෙනි. ඒ අනුව ‘නිවැරදි සිංහලය’ නමැති පොත සම්පාදනය කිරීම සඳහා කතුවරයා පුරාණ ඡේකයන්ගේ ව්‍යවහාරය වෙනුවට නූතන ඡේකයන්ගේ ව්‍යවහාරය ඇසුරින් වාක් සංහිතාවක් සපයා ගෙන ඇත.

නව ඡේකයෝ කවරහුද? යන්න ව්‍යාකරණඥයා මුහුණ දෙන ප්‍රශ්නයකි. ඡේකයන් හඳුනා ගැනීමට නිර්ණායක ඉදිරිපත් කළ නොහැකි වුවත් පාඨක සමීක්ෂණයක් මගින් තේරුණු  නූතන ඡේකයන්ගේ ව්‍යවහාරය පරික්ෂා කොට ලබා ගත් නිදසුන් මේ පොතේ දැක්වේ. නිවැරදි සිංහලය සඳහා ‘ හෙළ රීතිය’ හා ‘ නව රීතිය’ ඇසුරින්  නිදර්ශන ලබා ගැනීමට  කතුවරයා පාදක කර ගත් ලේඛක නාමාවලිය මෙසේ ය:  හෙළ රීතිය: කුමාරතුංග මුනිදාස . නව රීතිය: මාර්ටින් වික්‍රමසිංහ, පූජ්‍ය වැලිවිටියේ සෝරත හිමි, එදිරිවීර සරච්චන්ද්‍ර, ඊ. ඩබ්ලිව්. අදිකාරම්, සුචරිත ගම්ලත්, විමල් ජි. බලගල්ලේ විනි විතාරණ.

ඉහත දැක්වූ ලේඛකයන්ගේ කෘතිවල නිදසුන් ඇසුරින්  නිවැරදි සිංහල ලේඛන ව්‍යවහාරය ආධුනිකයන්ට පෙන්වා දීමට ජේ. බී. දිසානායක මහතා දරා ඇති ප්‍රයත්නය වියතුන්ගේ අවධානයට ලක් විය යුතු ය.  

සිංහලය ජිව භාෂාවක් නිසා නිවැරදි සිංහල වහර ද කාලයත් සමග වෙනස් වෙයි. ‘ ජිව භාෂාවක ගමන් මඟ’ නමැති මේ පොතේ දෙවැනි කොටස ( 13 – 90 පිටු) වෙන් වී ඇත්තේ ජීවමාන භාෂාවක් ලෙස සිංහල ලේඛන ව්‍යවහාරයේ සිදු වී ඇති වෙනස්කම් පෙන්වා දීම සඳහා ය. වාග්වේදීන් භාෂා පරිණාමය ලෙස හඳුන්වන මේ සංසිද්ධිය සිංහල ව්‍යවහාරය ඇසුරින් කතුවරයා පෙන්වා දෙන්නේ ආධුනිකයාට වැටහෙන සරල ආකාරයෙනි. අකුරු මැකී යයි, බැඳී අකුරු තනි වෙයි, නිපාත පද ගිලිහෙයි, පරණ නිපාත අලුත් වැඩට, බහු වචන පද ඒක වචන වෙයි, අනුක්ත උක්ත පද වෙයි, ‘ කෙනෙක්’ ‘එක් කෙනෙක්’  වූ වග යි  වැනි මාතෘකා ඊට නිදසුන් ය.

‘නිවැරදි සිංහලය’  පොතේ තුන්වන කොටස ( හෙළ වහර හා නව වහර) වෙන් වී ඇත්තේ හෙළ රීතිය  හා නව රීතිය  අතර පවත්නා සුවිශේෂ ලක්ෂණ ආධුනිකයන්ට හඳුන්වා දීම සඳහා ය. හෙළ රීතිය පෙන්වා දීම සඳහා හැම උදාහරණයක් ම උපුටා ගෙන ඇත්තේ කුමාරතුංග මුනිදාස මහතා ලියූ ‘ ව්‍යාකරණ විවරණය’ නම් කෘතියෙනි. හෙළ හවුලේ ලේඛකයන්ගේ ව්‍යවහාරය හා සමකාලීන ලේඛකයන්ගේ ව්‍යවහාරය පිළිබඳ සැසඳීමක් මේ කොටසේ එයි. නිදසුන් වශයෙන් හෙළ හවුල ‘අනෙක්’ , තත්ත්වය’ ‘ පැරැණි’ වැනි පද සමකාලීන ලේඛකයන් වැඩි දෙනෙකු ලියන්නේ ‘ අනික්’ , තත්වය’, ‘පැරණි’ යනුවෙනි. හෙළ හවුලේ රීතිය අනුගමනය කරන වියතුන් අද දුලබ වුවත් එම භාෂා රීතිය අගය කරන ලේඛකයන්ගේ කෘති ද දැනුදු පළ වේ.

නිවැරදි සිංහලය පිළිබඳ  පරිචයක් ලබා ගැනීම සඳහා භාෂා ව්‍යවහාරයේ ‘ පොදු වැරදි’ හඳුනාගත යුතු ය. එම ‘පොදු වැරදි’  කාලයාගේ ඇවෑමෙන් බොහෝ දෙනෙකුගේ ව්‍යවහාරය බවට පත් වුවහොත් ‘ නව රීති’ වශයෙන් සැලකීමට වාග්වේදීහු පෙළඹෙති. ආධුනික ලේඛකයන් විසින් නිතර වරද්දා ලියනු ලබන වහර සමුහයක් මේ පොතේ හතරවන  කොටසට එක් කර ඇත්තේ අක්ෂර වින්‍යාසය, පද සාධනය යන අංශ කෙරේ වැඩි අවධානයක් සහිතව ය.

නිවැරදි සිංහලය පොතේ වැඩි කොටසක් ( පිටු 296ක්) වෙන් වී ඇත්තේ ‘ වාක්‍ය නිර්මාණය’ පිළිබඳ රීති පැහැදිලි කර දීම සඳහා ය. ජේ. බි. දිසානායක මහතා සිංහල ව්‍යාකරණය අරබයා ලියූ ග්‍රන්ථයක වාක්‍ය වින්‍යාසය සම්බන්ධ  විස්තරාත්මක පැහැදිලි කිරීමක් මුල් වරට හමු වන්නේ මේ පොතේ ය. ඒ අනුව උක්ත - අනුක්ත භේදය, උක්ත ආඛ්‍යාත සම්බන්ධය, කර්ම කාරක වාක්‍ය, අන්තර් වාක්‍ය, සංශයාර්ථ වාක්‍ය, මිශ්‍ර වාක්‍ය  පිළිබඳ පුළුල් පැහැදිලි කිරීමක් මේ කොටසට ඇතුළත් වෙයි. සමකාලීන සිංහල ලේඛන ව්‍යවහාරයේ එන වාක්‍ය රීති විමසුමට ලක් කරමින් කතුවරයා මේ කොටස සම්පාදනය කර ඇත.

සිංහල ලේඛන ව්‍යවහාරයේ  පද බෙදීම ආධුනිකයන්ට පමණක් නොව වියතුන්ට ද ගැටලුවකි. පද බෙදීම සම්බන්ධයෙන් හෙළ හවුලේ ලේඛකයෝ  පොදු සම්මතයක් අනුගමනය කළහ.  විවිධ අවස්ථාවල දී පද බෙදීම සම්බන්ධයෙන් වියත් මඬුලු විසින් සම්පාදිත පුස්තිකා ද පළ වී ඇත. පද බෙදීම සම්බන්ධයෙන් මතභේදයට ලක් වී ඇති රීති සමහරක් හෙළ හවුලේ හා සමකාලීන ලේඛයන්ගේ ව්‍යවහාරය ඇසුරින් පෙන්වා දීම මේ පොතේ පද බෙදීම නම් 6 වන කොටසේ සිදු වෙයි.

නිවැරදිව ලිවීම සඳහා වාක්කෝෂය පිළිබඳ දැනුම ද ඉවහල් වේ. ‘නිවැරදි සිංහලය’ පොතේ අවසාන කොටස වෙන් වී ඇත්තේ කව් ලැකිය හා ලෙව් ලැකිය ඇසුරින් පද දෙකක් අතර පවත්නා අනුරූපතාව පැහැදිලි කර දීම සඳහා ය. සිංහල වචන කෝෂයේ එන තත්සම පද සමහරක් ද ඒවාට අනුරූප තද්භව පද ද අකාරාදි පිළිවෙළින් මේ පොතේ ඉදිරිපත් කර ඇත. සිංහලයේ සමානාර්ථ පද ඇති වීමට බල පා ඇති එක් හේතුවක් ලෙස ද මෙම තත්සම - තද්භව භේදය වැදගත් වේ. කතුවරයාගේ භාෂා ග්‍රන්ථ පිළිබඳ නාමාවලියක් සහ නිවැරදි සිංහලයෙන් ලිවීමට කැමැත්තක් දක්වන ආධුනිකයන් විසින් ඇසුරු කළ මනා පොත් පිළිබඳව පොතේ අවසානයේ සඳහන් වේ.

මහාචාර්ය ජේ. බී. දිසානායක මහතාගේ ‘ නිවැරදි සිංහලය’ නූතන සිංහල ලේඛන ව්‍යවහාරය පිළිබඳ අත්පොතක් ලෙස හැඳින්විය හැකි ය. සිංහල ලේඛනයේ නිවැරදි වහර අරබයා ගැටලුවක් මතු වූ විට ආධුනිකයන්ට පරිහරණය කළ හැකි ආශ්‍රේය ග්‍රන්ථ දුර්ලභ ය. ඒ අනුව සිංහල භාෂාව පරිහරණය කරන්නන් සඳහා ප්‍රායෝගික භාෂා අත්පොත් සුලබ කළ යුතු කාලය එළඹ ඇත. සිංහල ලේඛකයන්, ජනමාධ්‍යවේදීන්, ගුරුවරුන් හා ශිෂ්‍යයන් සඳහා  අවශ්‍ය වන්නේ සාම්ප්‍රදායික ව්‍යාකරණ ග්‍රන්ථ නොව සිංහල භාෂා ව්‍යවහාරය පිළිබඳ ගුරූපදේශ සපයන  භාෂා අත්පොත් ය. නිවැරදි සිංහලය සඳහා එවැනි ව්‍යාකරණ අත්පොතක් සම්පාදනය කිරීමට මෙරට සිටින ජ්‍යෙෂ්ඨ වාග්වේදියෙකු දරා ඇති වෑයම සිංහල භාෂාවේදීන්ගේ අවධානයට ලක් විය යුත්තකි. එමෙන්ම නූතන ඡේකයන්ගේ කෘති  ඇසුරින් සිංහල ලේඛන ව්‍යවහාරය  ගවේෂණය කරන විද්‍යාර්ථින්ට ද ‘නිවැරදි සිංහලය’ අගනා මූලාශ්‍රයක්  වනු ඇත.  

 

කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය

සඳගෝමි කෝපරහේවා

 

Comments