Followers

සිංහල භාෂා විෂයක බලගල්ලේ භූමිකාව


අප අතර සිටි ජ්‍යෙෂ්ඨතම සිංහල භාෂාවේදියා වූ මහාචාර්ය විමල් ජි. බලගල්ලේ මහතා
(1924 – 2021)  අනූ හය වසරක් ආයු විඳ ජූලි මස 16 වන දා  අපගෙන් සමු ගත්තේය. පෙරදිග භාෂා ශාස්ත්‍ර පිළිබඳ පඬිවරයකු ලෙස විද්වතුන්ගේ සම්භාවනාවට ලක් වූ  මෙතුමා,  1959 දී විද්‍යෝදය ( ශ්‍රී ජයවර්ධනපුර ) විශ්වවිද්‍යාල ආරම්භ වූ අවස්ථාවේ දී ඊට සම්බන්ධ වී  පුරා දෙතිස් වසරක් එම විශ්වවිද්‍යාලයේ සිංහලාංශයේ සේවාව කොට 1990 දී විශ්‍රාම ලැබුවේය. බලගල්ලේ මහතා විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ලෙස මෙරට  භාෂා අධ්‍යයන ක්ෂේත්‍රයට සම්බන්ධ වූ පනහ දශකය අවසානයේ දී ය. එම අවදියේ දී සිංහල භාෂා විෂයක කටයුතුවල කැපී පෙනුණු ගුරුකුල ත්‍රිත්වයක් තිබිණ. එනම්: පිරිවෙන්, විශ්වවිද්‍යාල හා හෙළ හවුල යනුවෙනි.

 

1930 – 40 දශක පමණ වන විට මෙරට භාෂා අධ්‍යයනයේ ආධිපත්‍යය අත්පත් කර ගෙන තිබුණේ විද්‍යෝදය - විද්‍යාලංකාර ප්‍රමුඛ පිරිවෙන්වලින් බිහි වූ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව යි. පාලි, සංස්කෘත භාෂා අධ්‍යයනය හා  ‘ සිදත් සඟරාව’ මුලික කර ගත් ව්‍යාකරණ ශාස්ත්‍රය පිරිවෙන් අධ්‍යාපනයේ  ප්‍රධාන අංගයක් විය. සිංහල භාෂා විෂයක කරුණුවල දී පිරිවෙන් ඇදුරන්ගේ ආධිපත්‍යය දක්නට ලැබිණි. මේ අතර 1942 දී ලංකා විශ්වවිද්‍යාලය ආරම්භවීමත් සමග එහි ප්‍රාචීන භාෂා පීයේ අවධානය යොමු වූයේ ඓතිහාසික හා තුලනාත්මක භාෂා විමර්ශනය සඳහා ය. 1952 දී පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය ධුරයට පත් වූ ඩි. ඊ. හෙට්ටිආරච්චි මහතා සිංහල භාෂා අධ්‍යයනයේ නිම් වළලු පුළුල් කිරීමට පියවර ගනිමින් නූතන වාග්විද්‍යාව පිළිබඳ පුහුණුවක් ලැබූ ආචාර්යවරුන්ගේ සේවාව ලබා ගත්තේය.  කුමාරතුංග මුනිදාස මහතා 1941 දී ඇරඹු ‘හෙළ හවුල’ පනහ දශකය අවසානය පමණ වන විට සිංහල භාෂා විෂයක ගුරුකුලයක් ලෙස කැපී පෙනුණු නමුදු කුමාරතුංග මහතාගේ අකල් මරණය ( 1944) නිසා එම ගුරුකුලයේ භාෂා ව්‍යාපාරය අඩපණ වී තිබිණ. එසේ වුවත් හෙළ හවුලේ උගත්හු සිංහල භාෂාව සම්බන්ධයෙන් පිරිවෙන් හා සරසවි ඇදුරන්ට වඩා  වෙනස් මඟක් අනුගමනය කළහ. එමෙන්ම  පනහ - හැට දශක සිංහල භාෂා විෂයයෙහි සෑම අංශයකින් ම වැදගත් වූ වකවානුවක් විය. 1956 දී සිංහල රාජ්‍ය භාෂාවක් බවට පත් වීම හා ස්වභාෂා උගත් තරුණ පිරිසක් බිහි වී තිබීමත් නිසා සිංහල භාෂා සාහිත්‍යය අරභයා නව උද්‍යෝගයක් රට තුළ ඇති වී තිබිණ.  

කොළඹ මාළිගාකන්දේ විද්‍යොදය පිරිවෙනේ අධ්‍යාපනය නිම කොට ප්‍රාචීන පණ්ඩිත උපාධිය ද සමත් ව ඉන්පසුව පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලයෙන් බී.ඒ. ගෞරව උපාධිය ද හිමි කර ගෙන සිටි  බලගල්ලේ මහතා,   අභිනවයෙන් පිහිටවූ විද්‍යෝදය ( ශ්‍රී ජයවර්ධනපුර ) විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ආචාර්යවරයකු ලෙස සම්බන්ධ වන්නේ ඉහත පසුබිම යටතේය.

සිංහල භාෂා විෂයක විමල් ජි. බලගල්ලේ මහතාගේ භූමිකාව පරීකෂා කිරීමේ දී පෙනී යන්නේ එතුමාගේ භාෂා ශාස්ත්‍රීය ශික්ෂණය මූලික වශයෙන් ම පිරිවෙන් සම්ප්‍රදාය අනුව සාම්ප්‍රදායික ව්‍යාකරණය ඔස්සේ වර්ධනය වී පසුකාලීන ව වාග් විද්‍යා චින්තනය මගින් පෝෂණය වී ඇති ආකාරය යි. 1960 දශකය ආරම්භයේ සිට පුරා දශක තුනක පමණ කාලයක් මුළුල්ලේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්යවරයකු ලෙස සිංහල භාෂා අධ්‍යයන කටයුතුවල නිරත වූ බලගල්ලේ මහතා, 1961 -1963 කාලයේ දී ලන්ඩන් විශ්වවිද්‍යාලයේ නූතන වාග්විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි පුහුණුවක් ද ලැබිය.

සිංහල භාෂා  විෂයක  බලගල්ලේ මහතාගේ ශාස්ත්‍රීය සේවාව පහත සඳහන් අංශ යටතේ සාකච්ඡාවට ලක් කළ හැකිය.

(1) සිංහල භාෂාවේ ඉතිහාසය හා සම්භවය පිළිබඳ අධ්‍යයන

(2) සිංහල භාෂා විග්‍රහය හා අර්ථ විචාරය  පිළිබඳ අධ්‍යයන

(3) සිංහල භාෂා ව්‍යවහාරය පිළිබඳ අධ්‍යයන

(4) සිංහල භාෂා අධ්‍යයන ඉතිහාසය පිළිබඳ අධ්‍යයන

(5) සිංහල ශබ්දකෝෂ සම්පාදන කාර්යය සඳහා දායකත්වය

විශ්වවිද්‍යාල සිංහල අංශ ආචාර්යවරයකු ලෙස බලගල්ලේ මහතා කැපී පෙනෙන සේවාවක් සිදු කර ඇත්තේ සිංහල භාෂාවේ සම්භවය හා ප්‍රවර්ධනය පිළිබඳ ඉතිහාසය හෙළි පෙහෙළි කිරීම සඳහා ය. සිංහල භාෂාවේ ප්‍රභවය හා ප්‍රවර්ධනය සම්බන්ධයෙන් භාෂාවේදීන් හා ඉතිහාසඥයන් විසින් ඉදිරිපත් කරන ලද මතවාද හා කරුණු සමාලෝචනය  කරමින් මහාචාර්ය විල්හෙල්ම් ගයිගර් සිංහල භාෂාවේ  ඉතිහාසය පිළිබඳ ව දැක්වූ  යුග බෙදීම සංශෝධනය විය යුතු ආකාරය පෙන්නා දුන්නේය. එමෙන්ම ගයිගර් විසින් රචිත The Linguistic of Sinhalese’ නමැති ලේඛනය ‘ සිංහලයේ වාග්විද්‍යාත්මක ස්වරූපය’ නමින් සිංහලයට පරිවර්තනය කොට පළ කිරීමට ද බලගල්ලේ මහතා පියවර ගත්තේය. ‘සිංහල භාෂාවේ සම්භවය හා පරිණාමය’ ( 1992), ‘ සිංහල භාෂාවේ ප්‍රභවය හා ප්‍රවර්ධනය’ ( 1996) යන නිබන්ධ සම්පාදනය කරමින් සිංහල භාෂාවේ ඉතිහාසය හදාරන විද්‍යාර්ථින් වෙනුවෙන් අගනා මෙහෙයක් කළ  බලගල්ලේ මහතා, සිංහල භාෂාවේ ප්‍රවර්ධනය සඳහා සංස්කෘතික සංස්පර්ශය බල පෑ ආකාරය ද එම කෘති මගින් පැහැදිලි කර දුන්නේය. සිංහල භාෂා ඉතිහාසය පැහැදිලි කර දීම සඳහා යෝග්‍ය වූ ශාස්ත්‍රීය භාෂා ශෛලියක් ද බලගල්ලේ මහතාගේ ලේඛනවල දක්නට ලැබිණ.  ඉහත දැක්වූ කෘතිවලට සිංහල භාෂාවේ සම්භවය හා ඉතිහාසය විෂය කර ගනිමින් බලගල්ලේ මහතා ලියු ලිපි රැසකි. ‘ සිංහල භාෂාවේ ඉතිහාසය ඇවිස්සීම’ ( විදුදය, 1959-60), ‘ සිංහල භාෂාවේ ආරම්භය හා විකාශය’ ( අපේ සංස්කෘතික උරුමය II, 1998) ඒ අතර වැදගත් වෙයි.  

සිංහල, පාලි, සංස්කෘත, ප්‍රාකෘත  ආදී ප්‍රාචීන භාෂා සාහිත්‍යය මුලින් ම හදාරා ඉන්පසු ව වාග් විද්‍යාව පිළිබඳ පුහුණුවක් ලබා සිංහල භාෂා විග්‍රහයක යෙදුණු බලගල්ලේ මහාචාර්යතුමා,  එම විෂය පිළිබද ප්‍රාමාණික අගයක් ගන්නා ලේඛන ගණනාවක් ලියා පළ කර ඇත. ‘ පදිම’ ( morpheme) පිළිබඳ ව බටහිර වාග්  විද්‍යාඥයන් ඉදිරිපත් කර ඇති විවිධ නිර්වචන විමර්ශනයට ලක් කරමින් සිංහල භාෂා විග්‍රහයේ දී හමු වන විවිධාකාර පදිම හැඳිනගෙන ඒවා වර්ග කිරීමට දැරූ ප්‍රයත්නය ‘ වාග්විද්‍යාවේ ‘ පදිම’ සංකල්පය පිළිබඳ විමර්ශනයක් හා සිංහලයේ පදිම පිළිබඳ වර්ගීකරණයක්’ ( 1989) යන මැයෙන් පළ වූ ලිපියේ අඩංගු වේ. එමෙන්ම ‘ සිංහලයේ අ කාරයේ සංවෘත විවෘත භේදය’ ( 1976), ‘ සිංහලයේ සඤ්ඤක අකුරු’ ( 1983) යන මාතෘකා විෂය කර ගනිමින් මෙතුමා විසින් සම්පාදිත වාග් විද්‍යා ලිපි,  එම මාතෘකා අරභයා මෙතෙක් ලියැවී ඇති වැදගත් ම ශාස්ත්‍රීය ලේඛන ලෙස විද්වතුන්ගේ සම්භාවනාවට ලක් වී ඇත. නූතන භාෂා අධ්‍යයනයේ ප්‍රධාන අංගයක් වන අර්ථ විචාරය හා උපයෝගිතා විචාරය හෙවත් ප්‍රකරණ විචාරය පිළිබඳ ව විශේෂ උනන්දුවක් දැක්වූ බලගල්ලේ මහතා, ‘ භාෂී සන්නිවේදනය, අර්ථ විචාරය  හා උපයෝගිතා විචාරය’ ( 2014) පාඨ ග්‍රන්ථයක් ද විද්‍යාර්ථින් වෙත ඉදිරිපත් කළේය. මේ කෘතිය එම විෂය අරබයා සිංහලයෙන් සම්පාදිත ප්‍රථම ග්‍රන්ථය  ලෙස සැලකිය හැකිය. එමෙන්ම භාෂා විෂයක ලිපි ඇතුළත් ග්‍රන්ථයක් ‘ සිංහල භාෂාධ්‍යයන  ලිපි’ (2004) ලිපි නමින් පළ කළ මෙතුමා,  වාග් විද්‍යාත්මක සංකල්ප සිංහලයෙන් ඉදිරිපත් කිරීම සඳහා සුදුසු  පාරිභාෂික පද නිපදවා ගැනීමට ද  විශේෂ පරිශ්‍රමයක් දැරීය.

සිංහල භාෂා විෂයක විමල් ජි. බලගල්ලේ මහතාගේ භූමිකාව පරීක්ෂා කිරීමේ දී අපගේ අවධානයට ලක් විය යුතු අනෙක් අංශය වන්නේ සිංහල භාෂා ව්‍යවහාරය සම්බන්ධයෙන් ඔහු දැක්වූ දායකත්වය යි. දශක තුනකට ආසන්න කාලයක් විශ්වවිද්‍යාල විද්‍යාර්ථින්ට ඓතිහාසික වාග් විද්‍යාව හා සිංහල භාෂාවේ  ව්‍යාකරණය ඉගැන්වූ ආචාර්යවරයකු ලෙස සිංහල ලේඛන ව්‍යවහාරය අරබයා ගැටලු මතු වූ අවස්ථාවල දී එතුමා විසින් දක්වන ලද අදහස් වැදගත් වෙයි. 1989 දී ජාතික අධ්‍යාපන ආයතනය මගින් ප්‍රකාශිත ‘ සිංහල ලේඛන රීතිය’ කෘතියේ තත්ත්වඥ මණ්ඩලයේ සාමාජිකයකු ලෙස ද 2014 වසරේ දී අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කළ ‘ සිංහල ලේඛන ව්‍යවහාරය - උපදේශ සංග්‍රහය’ කෘතියේ උපදේශකවරයකු ලෙස ද බලගල්ලේ මහතා කටයුතු කර ඇත. ඒ අතර ම ස්වකීය විද්‍යාර්ථින්ට පමණක් නොව තම වෘත්තිය සගයන්ට ද භාෂා විෂයක ගැටලු මතු වූ විට  තම ප්‍රාචීන භාෂා ඥානය නොමසුරුව ලබා දුන්නේය.

සිංහල ලේඛන කලාව හා භාෂා ව්‍යවහාරය  අරබයා බලගල්ලේ මහතාගේ ශාස්ත්‍රීය මැදිහත්වීම ඔහු විසින් ලියා පළ කරන ලද ග්‍රන්ථ හා  ලේඛන ගණනාවකින් ද පැහැදිලි වේ. ‘ මාර්ටින් වික්‍රමසිංහගේ වශ්‍යවචෝභාවය හා බස පිළිබඳ ඔහුගේ සංකල්ප’ ( කොග්ගල ප්‍රාඥයා, 1975) යන මැයෙන් ලියා ඇති ලිපිය,  නූතන සිංහල ලේඛකයකුගේ භාෂා විෂයක අදහස් හා බස් වහර විමර්ශනය සඳහා දරන ලද අගනා වෑයමකි.  එමෙන්ම ‘ භාෂා අධ්‍යය නය හා සිංහල ව්‍යවහාරය’ ( 1995) නමින් සම්පාදනය කළ කෘතිය, භාෂාවේ සංස්ථිතිය,  භාෂා විග්‍රහය  හා සිංහල භාෂා ව්‍යවහාරය ගවේෂණය කිරීම සඳහා දැරූ  ප්‍රයත්නයකි.

සිංහල භාෂා අධ්‍යයන ඉතිහාසය ගවේෂණය කොට ලියා පළ කිරීමට මූලික වූ විද්වතකු ලෙස ද බලගල්ලේ මහතාගේ භූමිකාව කැපී පෙනෙයි. 1966 දී ‘ සිංහල භාෂාධ්‍යයනයට යුරෝපිය පඬිවරුන්ගෙන් වූ සේවාව’ නමින් දීර්ඝ ලිපියක් ලියා පළ කරමින් සිංහල භාෂා අධ්‍යයන ඉතිහාස කථාව  පිළිබඳ  ගවේෂණයක් යෙදුණු බලගල්ලේ මහතා,  එම අධ්‍යයනය තවදුරටත් විස්තාරණය කොට 1995 දී ‘ සිංහල භාෂාධ්‍යයන ඉතිහාසය’ නමින් අගනා පර්යේෂණ ග්‍රන්ථයක් සම්පාදනය කළේය. ආරම්භයේ සිට 1965 තෙක් සිංහල භාෂා අධ්‍යයනය පිළිබඳ කථාන්තරය ඊට ඇතුළත් විය. සිංහල භාෂාව හා ඉතිහාසය හදාරන විද්‍යාර්ථින්ට පමණක් නොව සිංහල භාෂා අධ්‍යයනය පිළිබඳ අප්‍රකට තොරතුරු දැන ගැනීමට කුහුලක් ඇති සාමාන්‍ය පාඨකයන්ට ද එම කෘතිය අගනා මුලාශ්‍රයක් විය.

 බලගල්ලේ මහතා විශ්වවිද්‍යාල සේවාවෙන් විශ්‍රාම ලැබීමෙන් පසු ව 1994 සිට  සිංහල ශබ්දකෝෂයේ ප්‍රධාන කර්තෘ පදවිය දරමින් පුරා වසර හයක පමණ කාලයක් ශබ්දකෝෂ සම්පාදන කාර්යය සඳහා ද තම ශාස්ත්‍රීය දායකත්වය ලබා දුන්නේය. එම අවදියේ දී සිංහල - ඉංග්‍රීසි ශබ්දකෝෂය, සිංහල - සිංහල ශබ්දකෝෂයේ ප්‍රතිශෝධිත ද්විතිය සංස්කරණය හා සංක්ෂිප්ත සිංහල - සිංහල ශබ්දකෝෂය යන ව්‍යාපෘති තුන ප්‍රධාන කර්තෘගේ උපදේශකත්වය යටතේ ක්‍රියාත්මක විය. ‘ ශබ්දකෝෂකරණයේ පසුබිම හා රජයේ සිංහල ශබ්දකෝෂය’ නමින් මෙතුමා විසින් ‘ශබ්දකෝෂ ශාස්ත්‍රීය සංග්‍රහය’ (2017) සඳහා  සම්පාදිත ලිපිය ද මෙහි දී සඳහන් කළ යුතුය.

ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර  අධ්‍යාපනයෙන් ලැබූ ඥානයත්, වාග් විද්‍යාත්මක පුහුණුවෙන් ලැබූ ශික්ෂණයත්, විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ලෙස ලැබූ පරිචයත් ඇතිව,  නූතන වාග් විද්‍යාව හා සාම්ප්‍රදායික භාෂාධ්‍යයනයේ සංකලනයක ප්‍රතිමුර්තියක් ලෙස සිංහල භාෂා අධ්‍යයනයේ අභිවෘද්ධියට විමල් ජි බලගල්ලේ මහතා  සිදු කළ සේවාව ශාස්ත්‍රඥයන්ගේ විමර්ශනයට ලක් විය යුතු අංශයකි.

ඉරිදා ලංකාදීප - 2021 ජූලි 17 

Comments