Followers

හෙළ බස නැංවූ ‘හෙළ හවුල’ අසූ විය සපුරයි

( ඉරිදා දිවයින පුවත්පතේ පළ වූ ලිපියකි)


විසිවන සියවසේ දී සිංහල භාෂාවේ තත්ත්වය, භාවිතය හා සංස්ථිතිය යන සෑම අංශයක් කෙරෙහි ම වැඩි ම බලපෑමක් ඇති කිරීමට සමත් වූ භාෂා සංවිධානය වන්නේ කුමාරතුංග මුනිදාස (1887-1944) මහතාගේ නායකත්වයෙන් 1941 දී ආරම්භ වූ හෙළ හවුල යි.  ඉංග්‍රීසි භාෂාවේ ආධිපත්‍යය පැවති යටත් විජිත සමයක සිංහල භාෂාවේ ප්‍රෞඪත්වය සිංහලයන්ට  අවබෝධ කරවීමට පුරෝගාමී වූ භාෂානුරාගියකු වශයෙන් පමණක් නොව ප්‍රාචින භාෂා සාහිත්‍යයෙහි පැතිර ගිය දැනුමින් හා නිර්මාණ ශක්තියෙන් හෙබි විද්වතකු වශයෙන් ද සමකාලීන පඬිවරුන් අතර කැපී පෙනුණු කුමාරතුංග මහතා, හෙළ හවුල  ඇරඹීමෙන් පසුව භාෂානුරාගී  ව්‍යාපාරයක නායකයා බවට ද පත් විය. ලක්දිවට නිදහස ලැබෙන්නට සිවු වසරකට පෙර කුමාරතුංග මහතා   මිය ගිය නමුදු ඔහු විසින් අරඹන ලද භාෂා ව්‍යාපාරයේ බලපෑම බොහෝ කලක් මුළුල්ලේ දක්නට ලැබිණ.  නිදහස් ශ්‍රී ලංකාවේ භාෂා සාහිත්‍ය සංවර්ධනය හා ජාතික අනන්‍යතාව ගොඩනැංවීම සඳහා සිංහල භාෂාව මුල් කර ගෙන සංවිධානාත්මක වැඩ පිළිවෙළක් අරමුණු කර ගත්  හෙළ හවුල සංවිධානයේ  සමාජ ඓතිහාසික පසුබිම  හා එහි මෙහෙවර මේ ලිපිය මගින් විමසුමකට ලක් කෙරේ. 

 

සුබස සඟරාව හා හුදු හෙළය

1930 දශකයේ අවසානය පමණ වන විට කුමාරතුංග මුනිදාස මහතාගේ භාෂා සාහිත්‍ය කටයුතු පිළිබඳව රට තුළ ප්‍රසිද්ධියක් තිබූ අතර රටේ විවිධ අංශවල භාෂා සාහිත්‍ය කටයුතුවල ඌනතා පෙන්නා දීම ද ඔහු සිදු කළේය. පිරිවෙන් ඇදුරන්, පුවත්පත් කතුවරුන්, සිංහල ශබ්දකෝෂ සම්පාදනය සදහා උපදෙස් දුන්  ජර්මන් ජාතික විල්හෙල්ම් ගයිගර් වැනි උගතුන්ගේ කටයුතු ඒ අතර විය. එහි ප්‍රතිඵලයක් ලෙස  එසේම සමකාලීන උගතුන්ගෙන් සහ පුවත්පත් කතුවරුන්ගෙන් කුමාරතුංග මහතාගේ ශාස්ත්‍රීය කටයුතුවලට අනුබලයක් නොලැබිණ. කුමාරතුංග මහතාගේ පබැඳුම් වෙනත් පත්‍ර සඟරාවල පළ නොවන තත්ත්වයක් ඇති විය. ‘ලක් මිණි පහන’ පුවත්පත නැවතුණු දා පටන් ඉන් පළ වූ අදහස් තවදුරටත් රටට දීමේ මඟක් නැතිවීමේ කුමාරතුංග මහතාට බෙහෙවින් දැනුණු බව පෙනේ.  පත්‍ර සඟරා සංස්කරණයේ අත්දැකීම් ලබා සිටි කුමාරතුංග මහතා සිංහල භාෂාව රැක ගැනීමට දරන ප්‍රයත්නයක් ලෙස අලුතින් සඟරාවක්  ඇරඹීමේ අදහසින් 1939 ජූලි 10 වන දා ‘සුබස’ නමින් සඟරාවක් පටන් ගත්තේය.

1939 දී ‘සුබස’ සඟරාව ඇරඹීම කුමාරතුංග මහතාගේ භාෂා ශාස්ත්‍රීය සේවාවේ  මෙන්ම පෞද්ගලික ජිවිතයේ ද සන්ධිස්ථානයක් විය. මේ අවදිය වන විට ඔහු භාෂා සාහිත්‍ය ලෝකයේ කීර්තියක් ලබා සිටි අතර ඔහුගේ පතපොතට වීශාල අලෙවියක් ද ලැබුණු නිසා ආර්ථික වශයෙන් ද ශක්තිමත් විය. ‘සුබස’ සඟරාව පළ විමත් සමග කුමාරතුංග මහතාගේ භාෂා ශෛලියේ ද කැපී පෙනෙන වෙනසක් දැකගත හැකි විය. මුල දී සංස්කෘතයට බර ව මිශ්‍ර සිංහලයෙන් ලේඛනයේ යෙදුණු ඔහු ‘ලක් මිණි පහන’ පුවත්පත පැවැත්වූ සමයේ සිට ක්‍රමයෙන් හෙළ වහරට නැඹුරු වන්නට විය. 1939 දී ‘සුබස’ ඇරඹීමෙන් පසුව සම්පූර්ණයෙන් ම සංස්කෘතයෙන් මිදී ‘හුදු හෙළ’ වහර භාවිතයට ගත්තේය. ‘හුදු හෙළය’ හෙවත් ‘අමිශ්‍ර සිංහලය’ යෙදීමේ වැදගත්කම ඔහු මෙසේ අවධාරණය කළේය.

මෑතෙකැ සිටැ අප ගේ මහ වරදෙක් වියැ. ඒ නම් සියල්ලෙහි දී හැකි පමණ සංස්කෘතයට බර වීම යි. දැන් ඇතැමුන් ඉංගිරිසියට බර වීම ගෞරවයක් කොටැ දක්නා සේ කලකට පෙරැ සිටියාහු සංස්කෘතයට බර වීම මහත් වැදගත්කමක් කොටැ සිතූ හ. ඒ සිරිත අපට ද බෝ වූ බව කුමට කියමු ද ? දැන් අප ගේ යුතුකමෙක් වෙයි. එ නම් සිංහලය හැකි පමණ නිදහස් කිරීමයි. වැටහීම අඳුරු නො කොටැ කළ හැකි සියලු තන්හි අප විසින් පිරිසුදු සිංහලය යෙදියැ යුතු යැ.  සංස්කෘතයෙන්, පාලියෙන්, දෙමළයෙන් ඉංගිරිසියෙන් නොගත හොත් සිංහල අදහසක් නො පැවසියැ හැකි යැ යන මතයට පහර දියැ යුතු යැ ( සුබස 1939: 29).

 

ඒ අනුව සමකාලීනව සිංහල ව්‍යවහාරයේ භාවිත වූ සංස්කෘත තත්සම පද වෙනුවට හුදු හෙළ වදන් යොදා ගැනිමටත්, හෙළ වහරට අනුව ‘ වඩු වදන්’ ( පාරිභාෂික පද ) නිපදවීමටත් කුමාරතුංග මහතා පියවර ගත්තේය. එහි ප්‍රතිඵලයක්  ආදී ‘පිරිසුදු හෙළ වදන්’ රැසක් ‘ සුබස’ සඟරාව මගින් සිංහල ව්‍යවහාරයට එක් විය. කුමාරතුංග මහතාගේ සමීප සගයන් වූ  ජයන්ත වීරසේකර, රැ. තෙන්නකෝන් ආදීන්ගේ පමණක් නොව නවක ලේඛකයන් ‘හුදු හෙළය’ අනුව රචනා කළ වූ පැබඳුම්වලින්  ‘සුබස’ සඟරාව සාරවත් විය. ‘සුබස’ සඟරාවට පැබදුම් සැපයූ ලේඛකයන්ගේ සංස්කෘත නම් ද ‘හුදු හෙළය’ අනුව සකස් කළේය.  විරුසේකර ජයත් ( ජයන්ත වීරසේකර), අමරසිරි ගුණවඩු ( අමරසිරි ගුණවර්ධන) , ජයමහ වෙල්ලාල ( ජේම්ස් වෙල්ලාල) , අරීසෙන් අහුබුදු ( ආර්යසේන ආශුබෝධ), වරකාගොඩ සිල්රුවන් හිමි (වරකාකොඩ සීලරතන), අබිරම් ගම්හේවා ( ඒබ්‍රහම්  ගම්හේවා ), කුමරසිහි කිත්සිරි ( කිර්ති ශ්‍රී කුමාරසිංහ), හියුබත් දිසානායක,  ආදීන්ගේ නම් ප්‍රසිද්ධියට පත් වූයේ ‘සුබස’ සඟරාව නිසා ය.

විශේෂයෙන් ම‘සුබස’ සඟරාව මඟින් කවියට වැඩි තැනක් ලැබුණු අතර පැදි පබඳ තරඟ පවත්වා ජය ලැබුවන්ට තිළිණ ද ලබා දුන්නේය. රැ. තෙන්නකෝන් කවියාට ‘කිවිසුරු’ නමත්, අරීසෙන් අහුබුදු කවියාට ‘කිවිති’ නමත් ලබා දුන් කුමාරතුංග මහතා   ‘සුබස’ මගින් හෙළි කර දුන් කාව්‍ය සම්ප්‍රදාය අනුගමනය කළ කවීන්ගේ නිර්මාණ ඇතුළත් පොත් පෙළක් ‘රුවන් වැළ’ නමින් පළ කිරීමට ද කටයුතු යෙදිය. තෙන්නකෝන් මහතාගේ ‘වවුලුව’ ( 1939 ) ‘හැවිල්ල’  (1940)  ‘ දෑ විනය’ (1940) යන කවි පොත් ද ජයමහ වෙල්ලාලගේ ‘ ‘අලි සතුරුව’ (1940 ) වරකාගොඩ සිල්රුවන් හිමිපාණන්ගේ ‘ ළමා විරුව’ ( 1941) සහ අමරසිරි ගුණවඩුගේ ‘පිළියම’ (1941) යන කාව්‍ය සංග්‍රහ ‘රුවන් වැළට’ අයත් වූ ප්‍රකාශන විය. එම පොත් පාඨකයන්ට හඳුන්වා දෙමින් විවේචන ( විවිසු) සැපයීමට ද එම පොත් පළ කිරීම සඳහා පරිත්‍යාගශීලීන්ගේ ආධාර ලබා ගැනීමට ද කුමාරතුංග මහතා මූලිකත්වය ගෙන ක්‍රියා කළේය. පසුකාලීනව ‘හෙළ හවුලේ කවීන්’ ලෙස ප්‍රකට වූවන්ගෙන් බොහෝ දෙනකු මුලින් ම තම කිවියාව හෙළි කර ඇත්තේ සුබස සඟරාවෙනි.

සුබස’ සඟරාවට ලිපි සැපයූ ‘සුබැසියෝ’ බොහෝ දෙනෙක් පසු කලෙක දී ‘හෙළ හවුල’ සංවිධානය පිහිටවූ පසු කුමාරතුංග මහතාගේ අනුගාමිකයන් බවට පත්ව ‘හුදු හෙළය’ වෙනුවෙන් කැප වී ක්‍රියා කළහ. සිංහල භාෂා විෂයක නොයෙක් ගැටලු ‘සුබස’ සඟරාවේ ‘විමැසුම’ පිටුවේ සාකච්ඡාවට  ලක් වූ අතර නිවැරදි සිංහල වහර පතුරුවා හැරීමටත් ඉංග්‍රීසි පදවලට සුදුසු සිංහල පද තනා ගැනිමටත්  ‘සුබසින්’ වැදගත් සේවාවක් සිදු විය. එමෙන්ම සමකාලීන උගතුන්ගේ භාෂා සාහිත්‍ය කටයුතු ද ‘සුබස’ සඟරාවේ විමසුමට ලක් විය. සුබස සඟරාව කියවීමෙන් හෙළ බස පිළිබඳ උනන්දුවක් ඇති පිරිසක් ඒකරාශී වූ අතර ඔවුන්ගේ සාහිත්‍ය නිබන්ධ පිළිබඳ සාකච්ඡා ද ඇති වන්නට විය.

හෙළ හවුල පිහිටුවීම

ගුරු අභ්‍යාස විද්‍යාලයාධිපතිවරයකු ලෙස කුමාරතුංග මහතා කටයුතු කළ සමයේ දී ඔහු යටතේ පුහුණුව ලැබූ ගුරුවරු ද එම ගුරු අභ්‍යාස විද්‍යාලවල ඉගැන්වූ රැ. තෙන්නකෝන් වැනි ආචාර්යවරු ද ශාස්ත්‍රීය කටයුතුවල දී දැන හැඳිනගත් ජයන්ත වීරසේකර වැනි උගත්හු ද ‘ලක්මිණි පහන’, ‘සුබස’ යන පුවත්පත් සඟරා පළ කළ අවදියේ දී ඊට ගැදි-පැදි පැබදුම් සැපයූ බොහෝ දෙනෙක් ද 1940 දශකය වන විට කුමාරතුංග මහතා දැන හැඳිනගෙන ඔහු වටා එක් රොක් ව සිටියහ. සමකාලීන සමාජ දේශපාලනික තත්ත්වය පිළිබඳ ව උනන්දුවක් දැක්වූ විද්වතකු වූ කුමාරතුංග මහතා 1934 දී ‘ලක්මිණි පහන’ පුවත්පත නැවත ආරම්භ කිරීමත් සමග වඩාත් ක්‍රියාකාරී ලෙස සමාජ සංස්කෘතික කටයුතුවලට මැදිහත් වන්නට විය. මේ කාලයේ දී කුමාරතුංග මහතා කෙටි කලක් එස්. ඩබ්ලිව්. ආර්. ඩි. බණ්ඩාරනායක මහතාගේ ‘සිංහල මහ සභා’  නම් සංවිධානයට සම්බන්ධව සිටි බවත්  සඳහන් වෙයි.  එමෙන්ම ලක්මිණි පහන’ පැවැත්වූ අවදියේ දී  - එනම් 1935 ජනවාරි 5වන දා  කොළඹ මරදානේ පහන් පහරුව කාර්යාලයේ දී ‘සිංහල සමාජය’ නමින් දස දෙනෙකුගෙන් සමන්විත සංවිධානයක් ආරම්භ කිරීමට කුමාරතුංග මහතා මූලික වී ඇත. එම සංවිධානය පිළිබඳ වැඩි විස්තර වාර්තා වී නොමැති අතර මඳ කලෙකින් එය විසුරුවා හැර ඇත.

1939 දී ‘සුබස’ ඇරඹීමෙන් පසුව ඇති වූ සුබැසියන්ගේ පුබුදුව දුටු කුමාරතුංග මහතා, ‘සුබසේ’ රැසියන්ගේ ( රසිකයන්ගේ) මුළුවක් පැවැත්වීමේ අදහස ඇති විය. ඒ අනුව 1941 ජනවාරි 11 වන දා පාණදුරේ ගොරකාපොළ කුමාරතුංග මහතාගේ නිවහන වූ ‘හෙවණට’ රැස්වුණු සුබැසියන්ගේ එකතුවක් පිහිටුවීය. එම රැස්වීමේ මුලසුන හෙබවූයේ එවකට මග්ගොන කතෝලික ගුරු අභ්‍යාස විද්‍යාලයේ ප්‍රධාන සිංහල දේශකයා වූ ඩි. ඒ. පී. ජයමාන්න මහතා ය.   එම සංවිධානය සදහා ‘හෙළ හවුල’ යන නම යෝජනා කරන ලද්දේ කුමාරතුංග මහතාගේ සමීප මිතුරකු හා පත්‍ර කලාවේදියකු වූ ජයන්ත වීරසේකර විසිනි. “ යම් බසෙක් නොදියුණු නම් ඒ බස පවත්නා රට ද නොදියුණු වෙයි.” යනුවෙන් ‘හෙළ හවුලේ’ මුල් ම දෙසුම ඇරඹු කුමාරතුංග මහතා එහි අරමුණු මෙසේ පැහැදිලි කළේය.

එකකු විසින් රටක් වැඩිය නොහැක්ක. බසක් වැඩිය නොහැක්ක. දැයක් නැංවිය නොහැක්ක ... දුටුගැමුණු දවස වැන්නක් යළිත් උදා කැරැ වීමට නම් අප විසින් මහ පින් කම් ගණනාවක් මැ කටයුතු යැ. ඉනුදු මහ පින් කම යැ හෙළ නුවණ වඩන බව ... මේ දිවයින කුඩා රටෙකි; හෙළයෝ ද කුඩා දැයෙකි. එහෙත් කුඩා රටෙකැ කුඩා දැයකට නැගෙන්නට ඉඩ නැතැයි සිතීම මහ නිවට කමෙකි ... එහෙයින් දිරි වඩමු; එකතු වෙමු; හවුලක් ඇති කොටැ රට පුරා අතු බෝ කොටැ ඉන් අප ගේ වැඩෙහි හෙළයන් පහදවමු (සුබස,  1941 , 278-279).

1941 දී ‘ හෙළ හවුල’ ඇරඹීම කුමාරතුංග මහතාගේ සිංහල භාෂානුරාගී කටයුතුවල  කූට ප්‍රාප්තිය ලෙස සැලකිය හැකි ය. ඔහුගේ නායකත්වය යටතේ සමකාලීන සමාජ දේශපාලනික ක්ෂේත්‍රයේ සිංහල භාෂාව සදහා කැප වූ සංවිධානයක් ලෙස ‘හෙළ හවුල’ ප්‍රමුඛස්ථානයක් හිමි කර ගත්තේය. ඉතා කෙටි කලෙකින් ‘හෙළ හවුල’ රට පුරා ප්‍රචලිත කිරීමට කුමාරතුංග මහතාට හැකි විය. 1941 පෙබරවාරි  මස 14 වැනි  දා පාණදුරේ  මහානාම විදුහලේ පැවති හෙළ හවුලේ පළමු  මහ මුළුවට සුබැසියන් තුන් සියයකට වඩා සහභාගී වීමෙන් පෙනී යන්නේ එකල සැලකිය යුතු සිංහල භාෂා ප්‍රේමී කොටසක් එම අවදිය වන විට කුමාරතුංග මහතා  වටා එක් රොක් ව සිටි බව යි. ඔවුහු ලංකාවේ විවිධ පළාත්, ආගම හා කුල නියෝජනය කළ අය වූහ. හෙළ හවුලේ ශාඛා (අතු හවුල්)  කොළඹ, ගම්පහ, කළුතර, කෑගල්ල, මහනුවර, රත්නපුර, අම්බලන්ගොඩ, උණවටුන, අහංගම,  මාතර ආදී නගරවල ඇති කිරීමට ඔවුහු කටයුතු යෙදූහ. ‘හෙළ හවුල’ පිහිටුවීමෙන් පසුව සිංහල භාෂා ප්‍රේමින් අතර ඇතිවූ උද්‍යෝගය නිසා හෙළ හවුලේ සමුළු  ප්‍රාදේශිකව ද පැවැත්විණි.

‘හෙළ හවුල’ වටා වඩාත් සම්බන්ධව සිටි පිරිස් අතර සිංහල පාසැල් ගුරුවරුන්ට වැදගත් තැනක් ලැබෙයි. පසු කලක දී හෙළ හවුලේ මුල් පෙළේ නායකයන් ලෙස ක්‍රියා කළ රැ. තෙන්නකෝන්, අබිරම් ගම්හේවා, වෙ. ම. පෙරේරා, දො. දෙ. මොහොට්ටි, අරීසෙන් අහුබුදු, අලවුඉසි සැබිහෙළ,  අ. දො. චන්ද්‍රසේකර ආදීහු දිගු කලක් මුළුල්ලේ ගුරු සේවාවේ නියැළුණු අය වූහ. ලංකාවේ විවිධ ප්‍රදේශවල පැවති ගුරු විදුහල්, පාසල් ආදියේ සේවය කළ ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ‘සුබස’ සඟරාවට ගැදි-පැදි රචනා සැපයූ ‘සුබැසියෝ’  වූහ.  සමහරෙක් සමකාලින දේශපාලන සංවිධාන හා පක්ෂ සමග ද සම්බන්ධතා පැවැත්වුහ. ජයන්ත වීරසේකර මහතා ලංකා ජාතික සංගමය සමග ද අබිරම් ගම්හේවා, වෙ. ම. පෙරේරා අදින් කීප දෙනකු ලංකා සමසමාජ පක්ෂය සමග ද එක්ව කටයුතු කර ඇත.

 ‘හෙළ හවුල’ පිහිටුවීමත් සමඟ කුමාරතුංග මහතාගේ භාෂා සාහිත්‍ය කටයුතුවලට ද සංවිධානාත්මක ස්වරූපයක් ලැබිණ. ‘ බස -රැස - දෙස’  යන ‘හෙළ තෙරුවනක්’ ඉස්මතු කොට දැක්වූ ඔහු ‘හෙළ හවුල’ මඟින් වඩාත් පුළුල් භාෂා සාහිත්‍ය සේවාවක් ඉටු කිරීම සදහා පියවර ගත්තේය. ‘සුබස’ සඟරාව පළ කිරීම, ලක්දිව පුරා ‘අතු හවුල්’ (ශාඛා) පිහිටුවීම, නොයෙක් විෂයයන් පිළිබඳ පොත් කිරීමට සුබසියන් තේරීම, අපරදිගින් එන අලුත් හැඟීම් හෙළ බසින් පවසන ඉතා ම සුදුසු මං පැදීම, පොත් පළ කිරීමට හවුලක් ඇති කිරීම, අවුරුද්දට වරක් සෝදිසියක් පැවැත්වීම, තරු අකුරට රුකුල් දීම ආදිය ‘හෙළ හවුල’ ආරම්භයේ දී ම සැසඳිලි කර ගත් කරුණු අතර වෙයි. මේ අනුව පැහැදිලි වන්නේ ස්වභාෂාව සැලසුම් කොට සංවර්ධනය සඳහා  පැහැදිලි වැඩ පිළිවෙළක් සකස් කළ මුල් ම සංවිධානය  ලෙස හෙළ හවුල සැලකිය හැකි බව යි.

‘ සුබස’ ආරම්භයේ සිට ම හුදු හෙළ වහරක් අනුගමනය කළ කුමාරතුංග මහතා,  ‘හෙළ හවුල’ ආරම්භ කිරීමෙන් පසුව වඩාත් ප්‍රබල ලෙස හුදු හෙළ බසේ අගය ඉස්මතු කළේය.  ‘සුබස’ හෙළ හවුලේ ප්‍රකාශනය බවට පත් විය. හුදු හෙළය හා ‘ඇ- කාරය’ ‘හෙළ හවුලේ’ බස් වහරේ ප්‍රමුඛ ලක්ෂණයක් වූ අතර  සමකාලින ලේඛකයන්ගෙන් බහුතරයක් එම භාෂා ශෛලිය ප්‍රතික්ෂේප කළහ. සිංහල ශබ්දකෝෂය, ලංකා විශ්වවිද්‍යලය, අධ්‍යාපන දෙපාර්තමේන්තුව වැනි අංශවල දුර්වලතා පෙන්නා දෙමින්  කුමාරතුංග මහතා විවෘත ලිපි (Open Letters) ගණනාවක් ‘සුබස’ සඟරාවේ පළ කළ නමුදු ඔහුගේ සේවාව ලබා ගැනීමට එම ආයතන කටයුතු නොකළේය.   මේ අනුව පැහැදිලි වන්නේ 1940 දශකය පමණ වන විට කුමාරතුංග මහතාට  රජයෙන් හෝ වෙනත් ආයතන, පිරිවෙන්, පුවත්පත් ආදියෙන් අනුග්‍රහයක් නොලැබුණු බව ය.

හෙළ හවුලේ සිංහල භාෂානුරාගී  කටයුතු මේ  අයුරින් රට පුරා පැතිරී ගියේ සිංහල භාෂාව රජයේ කටයුතු සදහා යොදා ගැනීම අරබයා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අවධානය යොමු වී පැවති අවදියක දී ය. මේ කාලයේ (1943) දී කුමාරතුංග මහතා රෝගීව සිටි හෙයින්  ‘හෙළ හවුලේ’ අනුනයු ( නියෝජ්‍ය නායක) ලෙස කටයුතු කළ ජයන්ත වීරසේකර මහතා  වඩාත් ක්‍රියාකාරී ලෙස හෙළ හවුලේ කටයුතුවලට සම්බන්ධ විය. ජේ. ආර්. ජයවර්ධන මහතා සමග ලංකා ජාතික සංගමයේ සම ලේකම්වරයා ලෙස ද කටයුතු කළ වීරසේකර මහතා, ජාතික දේශපාලන ක්ෂේත්‍රයේ සිංහල භාෂාවට හිමි තැන ලබා ගැනීම සදහා මූලික වී ක්‍රියා කළේය.  එහි ප්‍රතිඵලයක් ලෙස 1943 ජූනි මස 22 වන දා “ අවුරුදු කීපයක් ඇතුළත දී සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පැමිණවීමේ අදහසින්” ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් රාජ්‍ය මන්ත්‍රණ සභාවට යෝජනාවක් ගෙන එන ලදී. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීම සදහා ව්‍යවස්ථානුකූලව ගන්නා ලද ප්‍රථම ප්‍රයත්නය ලෙස මේ යෝජනාව සැලකිය හැකි ය. මේ යෝජනාව ගෙන ඒම සදහා වීරසේකර මහතා ඇතුළු හෙළ හවුලේ සාමාජිකයන් විශාල බලපැමක් සිදු කර ඇති බව සදහන් වෙයි.

කුමාරතුංග විපත හා හෙළ හවුල   

1942 නොවැම්බර් මාසයේ දී  පමණ   ‘කව්සිළුමිණි පෙළගැස්ම’ සකස් කිරීම අවසන් කිරීමත් සමග කුමාරතුංග මහතා රෝගාතුර විය.  ගිලන්ව සිටිමින් වුවද හැකි පමණින් ග්‍රන්ථකරණයේ යෙදුණේය. දේශීය හා ඉංග්‍රීසි ප්‍රතිකාර ලබා දුන් නමුදු කුමාරතුංග මහතාගේ රෝගය සුව නොවීය. වියළි දේශගුණයක් සහිත ප්‍රදේශයක විසීම අරමුණු කර ගෙන 1943 ජූනි මස සිට කන්කසන්තුරේ නැවති සිටීමට ද සිදු විය. එහි  ළය  රෝහලේ ද කලක් ප්‍රතිකාර ලැබූ කුමාරතුංග මහතා,  1943 ඔක්තෝබර් මස සිට නැවත සිය නිවසට ම පැමිණ දේශීය ප්‍රතිකාර ලබා දීම සිදු කළ ද ඒ වන විට එතුමාගේ රෝගය සුව නොවන ලකුණු පෙනෙන්නට විය. දැඩි ව ගිලන් වූ කුමාරතුංග මුනිදාස මහතා 1944 මාර්තු මස 2 වන දා මෙලොවින් සමු ගත්තේය.

කුමාරතුංග මහතාගේ අකල් වියොව නිසා හෙළ හවුල සංවිධානයට පැවති ප්‍රෞඪ නායකත්වය අහිමි වුවත් එහි කටයුතු ඉදිරියට ගෙන යෑමට මුලික වී ක්‍රියා කළේ ජයන්ත වීරසේකර මහතා ය. 1944 දී හෙළ හවුලේ නායකත්වයට පත් වූ ඔහු සිංහල භාෂාවට රජයේ වැදගත් තැනක් ලබා දීම සදහා මූලික වී ක්‍රියා කර ඇත. කුමාරතුංග මහතාගේ අභාවය සිදු වන විට සිංහල හා දෙමළ  රාජ්‍ය භාෂා  කිරීම සඳහා වූ යෝජනාව රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් වී තිබුණු අතර එම යෝජනාව විවාදයට ගැනුණේ 1944 මැයි මාසයේ දී ය. මේ පසුබිම යට‍තේ වීරසේකරගේ නායකත්වයෙන් පැවති හෙළ හවුල සංවිධානය සිංහලය රාජ්‍ය භාෂාව කිරීම සඳහා බලපෑම් කණ්ඩායමක් ලෙස ක්‍රියා කර ඇත.  1948 අප්‍රේල් හා මැයි යන මාසවල කොළඹ හා මාතර පැවති හෙළ හවුලේ සමුළුවල දී සිංහලය රාජ්‍ය භාෂාව කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනා ඊට නිදසුන් ය.

කලක් නැවති තිබු සුබස සඟරාව 1945 අප්‍රේල් මස යළි ආරම්භ  වූ අතර  මාර්තු 2 වන දා  කුමරතුඟු සමරු දිනය ලෙස සැමරීමට සිදු වූයේ හෙළ හවුල මුල් වීමෙනි. 1946 සිට සුබස සගරාව පළ වී ඇත්තේ ‘ හෙළ හවුලේ සගනුව’ ලෙස ය. කුමාරතුංග මහතාගේ අභාවයෙන් පසුවත් හෙළ හවුලේ භාෂා සාහිත්‍ය කටයුතු  සංවිධානාත්මක ව සිදු වී ඇත. 1946 දෙසැම්බර් මස 29 වන දා  කොළඹ පුර හලේ පැවති ‘හෙළ හවුල් - සුබැසි මහ සමුළුව’ සඳහා කෝදාගොඩ ඥානාලෝක හිමි, ජයන්ත විරසේකර, රැ. තෙන්නකෝන් ආදී ගිහි පැවිදි පඬිවරුන්ගේ දෙසුම් ද සුනිල් සාන්තයන්ගේ ගැයුම් ද ඇතුළත් වී ඇත. එම සමුළුවට එක් වූ පිරිස දහස ද ඉක්මවා නැගී හෙයින් බොහෝ දෙනකුට අසුන් පහසුවෙන් තොරව එළියේ සිටින්නට පවා සිදු වූ සඳහන් වේ ( සුබස 1947: 108). එමෙන්ම පසුකාලීනව මොරටු හෙළ හවුල, රත්නපුරේ හෙළ හවුල, මිගමු හෙළ හවුල  ලෙස ද සමුළු පවත්වා තිබීමෙන් පැහැදිලි වන්නේ හෙළ හවුලේ සමාජ ව්‍යාප්තිය හා ජන පදනම යි.

හෙළ හවුල හුදු හෙළ බස අනුගමනය කළ සුබැසියන්ගේ එකතුවක් ලෙස ප්‍රකට වුවත් එම සංවිධානය පොදුවේ පෙනී සිට ඇත්තේ සිංහල භාෂා විෂයක කරුණු වෙනුවෙන් ය.   සෑම වසරක ම මාර්තු 2 වන දාට යෙදෙන කුමාරතුංග සමරු දිනය උත්කර්ෂවත් ලෙස සැමරීමත් එම දිනයේ දී සිංහල භාෂා ප්‍රේමින් අතර පමණක් නොව රටේ ජනයා අතර ද හෙළ බස පිළිබඳ උනන්දුවක් ඇති කිරීම සඳහා වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමත් හෙළ හවුලේ ප්‍රධාන කාර්යයන් අතර කැපී පෙනෙයි. කුමාරතුංග මහතා බසට කළ සේවාව අගයනු වස් සමරු ලිපි හා කව් එම දිනය මුල් කර ගෙන පළ කිරීමට හෙළ හවුල කටයුතු කර ඇත.  කුමාරතුංග මහතාගේ තෙවන ගුණ සමරුව 1947 දී පවත්වා ඇත්තේ කොළඹ ලංකා විශ්වවිද්‍යාලයේ ජෝජ් රාජ ශාලාවේ දී ය. මෙයින් පැහැදිලි වන්නේ හෙළ හවුල සමකාලීනව ලබා තිබු පිළිගැනීම යි.

කුමාරතුංග  මහතාගෙන් පසුව ‘හෙළ හවුල් - සුබැසි මහ නයුවාණන්’ ලෙස කටයුතු කළ ජයන්ත වීරසේකර මහතා 1949 ජුනි මස දී පරලෝ සැපත් විය.  හෙළ හවුල ඉහළ තැනකට ඔසොවා තැබීමට වීරසේකර මහතාගෙන් විශිෂ්ට සේවාවක් සිදු වී ඇත. එම අවදිය වන විට සිංහල භාෂාවට රජයේ කටයුතුවලට යොදා ගැනීම හා සුදුසු තැනක් ලබා දීම සඳහා උගතුන් හා දේශපාලනඥයන් අතර ද උනන්දුවක් ඇති වී තිබිණ.  ජයන්ත වීරසේකර මහතාගේ අභාවයෙන් පසුව 1949 දී හෙළ හවුලේ නයු බවට පත් වූ රැ. තෙන්නකෝන් මහතා දිවයිනේ ප්‍රකටව සිටියේ මහා කවියකු ලෙස ය. තෙන්නකෝන් මහතා  1965 මාර්තු මස වන තෙක් හෙළ හවුලේ  තෙවන නායකයා ලෙසත් ඉන්පසුව අමරසිරි ගුණවඩු මහතා හෙළ හවුලේ සිවු වන නයු (1965 – 1977) ලෙසත් පත් විය.

හෙළ හවුලේ බලපෑම


1950 දශකය ආරම්භ වන විට සිංහල භාෂා සාහිත්‍යයේ ප්‍රධාන  ගුරුකුලයක් බවට හෙළ හවුල පත් වී තිබිණ. සිංහල භාෂා විෂයක වාද විවාදවල දී පිරිවෙන් හා විශ්වවිද්‍යාලවලට අමතරව විකල්ප මතවාදයක් ඉදිරිපත් වූයේ හෙළ හවුලිනි. හෙළ හවුලේ සමුළුවල දී සිංහල භාෂා සාහිත්‍යය පිළිබඳ නොයෙක් සැසඳිලි පවත්වා නව අදහස් පළ කර  ඇත. මේ අවදිය වන විට

හෙළ හවුල රට පුරා පැතිරී තිබුණු භාෂා ව්‍යාපාරයක් බවට පත් ව තිබු අතර පාසල් - ගුරු විදුහල් ආදියේ හෙළ හවුලේ බලපෑම වඩාත් ප්‍රබල ව දක්නට ලැබිණ.  නිදසුනක් ලෙස මේ අවදියේ දී ගල්කිස්සේ සාන්ත තෝමස් විදුහලේ සේවය කළ පින්තූ ජයවර්ධන, සඳදස් කෝපරහේවා, අරිසෙන් අහුබුදු, ලියනගේ ජිනදස් විනි විතාරණ වැනි හෙළ හවුල් මඟ අනුගමනය කළ ගුරුවරුන් නිසා එම පාසලේ මහත් හෙළ බස් පුබුදුවක් ඇති විය. එමෙන්ම හෙළ හවුල් මඟ අගය කළ ජයසේකර අබේරුවන්. මුනිදාස ශුභවික්‍රම, පු. බ. බාලසුරිය වැනි උගත්තු පාසල්වල භාවිතය සඳහා සුදුසු සිංහල ව්‍යාකරණ ග්‍රන්ථ රචනා කිරීමට ද යොමු වූහ. මේ ගුරුවරුන්ගේ බලපෑම නිසා හෙළ බස් මඟ අගය කළ තුරුණු සුබැසි පිරිසක් ද රට පුරා බිහි වුහ.

හෙළ හවුලට සම්බන්ධ ව සිටි උගත්තු හුදෙක් හෙළ හෙළ බස පිළිබඳව පමණක් නොව සාහිත්‍ය විචාරය, දේශපාලනය, චිත්‍ර කලාව, විද්‍යාව  වැනි  වෙනත් විෂයයන් පිළිබඳවත් අවධානය යොමු කළ පිරිසක් වූහ. ඔවුහු  හුදු හෙළ බසින් නව පතපොත සිංහල පාඨක ලෝකයා වෙත දායාද කළහ. 1966 දී හෙළ හවුල රිදී මඟුල ( පස් විසි වස)  සමරන අවස්ථාවේ දී සිංහල භාෂා සාහිත්‍ය පෝෂණයේ නියැළුණු හෙළ හවුලේ ගිහි  - පැවිදි සාහිත්‍යධරයන් අතර කෝදාගොඩ ඥානාලෝක හිමි, වරකාගොඩ සිල්රුවන් හිමි, අමරසිරි ගුණවඩු, දො. දේ. මොහොට්ටි, අරිසෙන් අහුබුදු, අලවුඉසි සැබීහෙළ, හියුබත් දිසානායක, ගුණපාල සේනාදීර, අ. දො. චන්ද්‍රසේකර, දි. වී. රිචඩ් ද සිල්වා, කුමරසිහි කිත්සිරි, සඳදස් කෝපරහේවා,  සමරකෝන් වජිරසේන, මා. මෙත්පලු, කලණරුවන් සුමනදස්, අනඳපිය කුඩාතිහි, දා. දු. න. වීරකෝන්, ගාමිණි තිලකවර්ධන, හේමසිරි කුමාරතුංග, වි.ජ.මු ලොකුබණ්ඩාර  ආදීහු කැපී පෙනුණහ. හෙළ හවුලේ ‘ඇතුළතුන්’ මෙන් නොගැනුණ ද හෙළ බස් පිළිවෙත ගරු කළ ආනන්ද කුලසූරිය, විනි විතාරණ වැනි සිංහල මහාචාර්යවරු ද මහානාම දිසානායක වැනි පුවත්පත් කතුවරු ද වූහ.

සිංහල භාෂා විෂයක හෙළ හවුලේ බලපෑම වඩාත් ප්‍රකට වූයේ සිංහල වාක්කෝෂයට එක් වූ හුදු හෙළ වදන් නිසා ය. සිංහල භාෂාව සඳහා නව වදන් තනා ගැනීම සඳහා කුමාරතුංග මහතා හෙළි පෙහෙළි කළ මඟ යමින් හෙළ හවුල වහරට එක් කළ අණුදක්නය, ඇඟලුම, ඇබෑසිය, කමිටුව, කිතුනු, කිවියාව,  පබඳ, පාපැදිය, මඬුල්ල, මැති සබය, මියැසිය, මුළුව, රජය, රැකියාව , ලිවිසැරිය,  වෙළුම,  සකසු, සමුළුව, සරසවිය, හැකියාව, හැදියාව, හෙදිය වැනි වදන් වර්තමානය වන විට බස් වහරේ පොදු වදන් බවට පත් ව ඇත. එමෙන්ම විදුලි ඉංජිනේරු විද්‍යාව වැනි විෂයයක් සඳහා සිංහල ‘ සිප්යුරු වදන්’නිපදවීමට  මහත් උත්සාහයක් දරන ලද්දේ හෙළ හවුලට අයත්  වරලත් ඉංජිනේරුවකු වූ ඊලියන් ද සිල්වා මහතා විසිනි.

1968 – 1969 කාලයේ දී ‘සම්මත සිංහලයක්’ ඇති කිරීම සඳහා මූලික වූ සංවිධානයක් ලෙස ද හෙළ හවුල සිංහල භාෂා ඉතිහාසයේ කැපී පෙනේ. එකල අයි. ඇම්. ආර්. ඒ ඊරියගොල්ල ඇමතිවරයා විසින් පත් කරන ලද සම්මත සිංහල කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කළ පූජ්‍ය කෝදාගොඩ ඥානාලෝක හිමි, අමරසිරි ගුණවර්ධන, අ. දො. චන්ද්‍රසේකර  හා ආචාර්ය විනි විතාරණ ආදීහු හෙළ හවුලට සම්බන්ධ අය වූහ. එමෙන්ම සම්මත සිංහල කමිටු වාර්තාව පළවීමත් සමග ඇති වූ සම්මත සිංහල වාදයේ දී හෙළ හවුලේ උගත්තු  නිවැරදි බස් වහර රකිනු සඳහා මහත් කැපවීමෙන් කටයුතු කළහ.  1989 දී ජාතික අධ්‍යාපන ආයතනය  සිංහල ලේඛන රීතිය නමින් සිංහල භාෂා රීති මාලාවක් පළ කිරීමට කටයුතු කළ අතර එවක අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය ධුරය දැරුවේ හෙළ හවුලේ සාහිත්‍යධරයකු වූ වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා ය. 1987 දී කුමාරතුංග මහතාගේ ජන්ම ශත සංවත්සරය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමටත් ‘හෙළ බසෙහි ණ - න - ළ - ල යෙදුම’ පිළිබඳ සම්මන්ත්‍රණ මාලාවක් හෙළ හවුලේ මූලිකත්වයෙන්  කොළඹ දී පැවැත්වීම සඳහාත්  ලොකුබණ්ඩාර මහතාගේ  අනුග්‍රහය ලැබී ඇත.  

අමරසිරි ගුණවඩුහේ අභාවයෙන්  පසුව ( 1977) හෙළ හවුලේ නායකත්වයට පූජ්‍ය කෝදාගොඩ ඥානලෝක හිමි පත් වූ අතර ඉන්පසුව වරකාගොඩ සිලරුවන් හිමි, අ. දො. චන්ද්‍රසේකර. අරිසෙන් අහුබුදු, අනඳපිය කුඩාතිහි, අමරසිරි පොන්නම්පෙරුම ආදී ගිහි - පැවිදි සුබැසියෝ පත්  වූහ. වර්තමානයේ හෙළ හවුලේ නායකත්වය දරනු ලබන්නේ සිංහල භාෂා ප්‍රවීණයකු ලෙස කීර්තියක් දරන ශ්‍රී නාත් ගණේවත්ත මහතා විසිනි. ඇතැම් කාලවල දී රජයේ අනුග්‍රහය ලැබුණ ද  හෙළ හවුලේ නයුවෝ බස - රැස - දෙස හෙළ තෙරුවන කෙරේ මහත් ඇල්මකින් යුතුව තම භාෂා ව්‍යාපාරය පවත්වා ගෙන ගියහ.

පුරා දශක අටක කාලයක් මුළුල්ලේ හෙළ බස වෙනුවෙන් කැප වී කටයුතු කළ එක ම භාෂා සංවිධානය වන්නේ හෙළ හවුල යි. සිංහල භාෂාවේ තත්වය හා ස්වරුපයේ සිදු වූ වෙනස්කම් සමග හෙළ හවුලේ ගමන් මග විමසා බැලීම සිංහල භාෂා විෂයක  සමාජ දේශපාලනික ඉතිහාසය ගවේෂණය කරන විද්‍යාර්ථින්ට වැදගත් වන මාතෘකාවක් වන්නේය. හෙළ හවුලේ සාහිත්‍යධරයන් හා ඔවුන්ගේ සාහිත්‍ය නිබන්ධ පිළිබඳ පුළුල් පර්යේෂණයක් සිදු කිරීමට කාලය එලඹ ඇත.

Comments